Tuesday, September 2, 2014

බලාපොරොත්තුවක්







වැස්ස එව්වෙ ඔබම නේද - ඔබේ අගේ මට දැනෙන්න
සීත එව්වෙ ඔබම නේද - ඔබ නැති පාළුව දැනෙන්න
විජ්ජුලතා යහළුවන්ද - ඔච්චම්කර සිනාසෙන්න
සුළග එව්වමුත් නොහැකිය - ඇරයුම් නැති ගමන් එන්න....



වැසි බිදක් බිදක් ගානේ
ගහ කොලෙහි ගැටී - මහ පොළොවෙ හැපී
වගුරන්නෙ මගෙම කදුළු
සිසිලසක් වගේ දැවටී
හී ගඩුද පිපී - සීතලට දැපී
මැලවෙන්නෙ සිනා කැකුළු......


විදුලියක් දිලෙන ගානේ
මහ හඩ දිදී - ගිනි අතු විහිදී
ඇවිලෙන්නෙ දුකයි ඉතිනී
ඔබ සුළග වගේ ඇවිදින්
අපි යමුය කියා - බදවට පටලා
සිපගන්න තුරා හිදිමී


නීතීඥ    කපිල ගමගේ 

Sunday, June 22, 2014

මේ මගේ හිත....








දසත ගුම් දී හමන
චණ්ඩ මාරුතේ වුව නොසැලෙන
ඉන්ද්‍රඛීලයකැයි නුඹ සිතුවාට....
මගේ සිත
සියුම් ළ‘දල්ලකි
මද සුළගිනුදු ස‘සැලෙන .......

තෙදැති මත් ඇතුන් වුව බැද තබන
යදම් වැලකැයි නුඹ සිතුවාට...
මගේ සිත
මකුණු දැළ් හුයක් මෙන් දුහුළැල්ය
ඇගිලි සරකින් පවා විසුණු වන .......

විසල් වනපෙත් මුදුන් පරයා
එසැවී හිරුට හිනැහෙන
වනස්පතියකැයි නුඹ සිතුවාට...
මගේ සිත
පුංචි තුත්තිරියා ගසකි
කිසිවෙකුගෙ නෙත නැවත නොගැටෙන....

විටක කළඹා ඉවුරු සසලවන
නෙක ගම් දනවු මැදින් ගලා යන
නදියකැයි නුඹ සිතා වුන්නාට...
මගේ සිත
ඉසියුම් පිනි බිදකි
සළකුණක් හෝ නැතිව
හිරු රැසින් වුව වියැකෙන


Tuesday, May 27, 2014

ලොකු සිත් වල පුංචි සිතිවිලි.....







''මං පුංචි වතුර බින්දුවක් විතරයි''
රෑක මැදියමේ
සද එළිය ගෙට එන්න පොදිකන
ජනෙල් පළු දෙපසට විදා හැර
මාරුතේ හැනී ආ සිසිලස විදිමින්....
නුඹ කීය මගේ පිළිතුරු නොපතමින්......
 '' ඔව්..... මහා සයුරත්
ටිකක් ලොකු වතුර බින්දුවක් විතරයි''
මගේ ළය පතුළෙන් පැමිණ එක පිළිතුරක්
පිටවීය සුසුමක් විලසින්...........


''ඔබේ ජීවිතේ ඇතුළේ මං එක පුංචි මොහොතක් විතරයි''
එසද, ඒ සද සොයන දෑසින්
අරමුණු විරහිත හදවතින්
නුඹ කීය මා පිළිතුරු නොපතමින්....
''ඔව් කල්පයක් කියන්නෙත්
ටිකක් ලොකු පුංචි මොහොතක් විතරයි''
අනෙක් ඇළයට හැරුණෙමි..
පිළිතුර කොට්ටයට පවරමින්....



Wednesday, May 21, 2014

තාත්තාගේ මරණය






හිනිදුම් නිම්නය පසු කර
හල් ගස් අතරින්
පොළොව පහුරු ගාගෙන නුඹ 
ගිංතොට යන විට....
රිදුනේ නෑ පොඩ්ඩක්වත් 
මේ මහ පොලොවට
ඒත් මොකද අපෙ අප්පා 
ගෙන ගිය හේතුව.............

හතලිස් හතරේ 
මහ ගංවතුරට යට වුණ
බිම් මායිම් පහුකර  නුඹ 
ආයෙත් ආවද....
අපි ඇවිදින් හැන්දෑවට 
අතපය හෝදන
මේ ගග මෙච්චර සැර බව 
හිතන්නෙ කොහොමද .................

ඔරුව අරන් එගොඩ මෙගොඩ 
යා කරවන්නට
හෙට ඉදලා මමත් ඔන්න 
එනවා ඉවුරට...........
මං බය නැත 
ගොංගල කදු මුදුනෙන් ආවට
ගග පතුලේ ඉදලා මා 
රකින්න පියතුම.................




ගාමිණී ජයවර්ධන

Thursday, May 8, 2014

නූලේ දුර....








කිසිවෙකුට නොපෙනෙනා
දිගුම දිගු නූලකින් ....
මගේ හිත නුඹෙ අතේ 
ඇගිල්ලක ගැට ගහන් 
නුඹ කොහේ කොහේ යනවද 
''මට ඔහේ ඉන්නට 
ඉඩ දෙන ගමන් ''.........

ඉන්න බව දන්නකොට
මං මෙතන ජීවිතේ අත් දෙකේ
ගුලි කරන්.......
කුරුල්ලෙක් වගේ නුඹ නිදහසේ
තැන - නොතැන 
දැන - නොදැන
ඉගිලෙන තරම්........

හීන අත්තටු පිරිමැදන්
නුඹ කොහේ ඉගිලුනත් තටු අරන්
මං ඉන්නෙ සියුම් නූලකින්
නුඹ මගේ හදවතට  ගැටගහන්........