Thursday, April 3, 2014

කේන්දරේ

 
        වැලිගම වෙරළේ කෙළවරකින් සැඳෑ හිරුබැස යන නිමේෂයක මගේ හදවත තදින් බැඳතබා වැළඳ ගන්නා ආදරණිය වේදනාවකින් මම තෝන්තුවා වී සිටියෙමි. ඉන්දියන් සාගරය දෙසට තම මුහුණ හරවාගෙන මුහුදු වෙරළට මීටර් දෙක තුනකට ඔබ්බෙන් පිහිටි වැලිගම කැරකෝප්පුවේ, එහි ලියා තිබූ පරිදි මියගිය ආදරණිය මිනිසා වෙනුවෙන් වසර ගණනකට ඉහත දී ඉදි කළ සොහොන් කොතේ, බැම්ම මත හිඳගෙන, රන් වනින් ගිලිහි යන මළ හිරුගෙ අවසාන අවු රැුල්ල මතකයෙන් ගිලිහී යා නොදී දෙඇස් මත චිත‍්‍රණය කර ගනිමිනි මා උන්නේ.  අලුත් පාර දිගේ කොළඹ දෙසට දිව යන වේගවත් රිය පෙළ ද, පරණ පාර ඔස්සේ මාතර බලා විටින් විට ඇදී යන රථ පෙළද මගේ සිතිවිලි දාමයට, සිතිවිලි ජාලයට හිරිහැර කරයි.  වැල්ලේ පේළියට ලැගුම් ගෙන විඩා නිවනා කුඩා බෝට්ටු පසුකරගෙන ගොසින්, ඈත ගැඹුරු දියඹේ ගිලෙන්නට යන හිරුගේ විප‍්‍රයෝගික දෑස වේදනාවෙන් රත්පැහැ ගැන්වී  තිබුණි.  ඒ මොහොතේ මීට වසර විසිපහකට තිහකට එපිට අතීතයේ සිට දකුණු දිග වෙරළ ඔස්සේ ගලාගෙන පැමිණි මතක සුසුවඳක ලවණ රසයකින් මා දෙතොළ තෙත් විය.  දෙවනුව ඒ ලවණ රසය පරයා නැගී ආවේ, මාළු වාඩිය දෙසින් ආ පිළී ගඳකි.  නමුදු ඒ පිළීගඳ මැඬගෙන සැඳෑ අවුරැුල්ලේ රශ්මිය නිසාවෙන් මගේ උණුසුම් තළෙළු, හමට යටින් වූ හෘදය මාංශය ව්‍යාකූල වෙමින් පැවැතිණ.  

      අග නුවර සිට ගම ආ කිසිදු විටෙක නොවූ පරිදි මගේ හද තුළ මේ තරම් තදබල අවිශ්වාසය මුසු කළකිරිමක් ඉපදුනේ ඇයි?  වසර ගණනාවකට පසු හදවතේ නටඹුන්වැ ගිය නගරයක තනිව ඇවිදිනවා වැනි පාළු මූසිල හැඟීමකින් මම පීඩා විඳිමින් වුනිමි.  ඒ නටඹුන් මතින් තබන තබන සෑම පියවරක්ම තදින් මාවෙතටම කරගනු ලබන පහර දීගැනිමක් විය.  ඉඳහිට ගෙදර ආ විටෙක, කාමරංගහවත්තේ තවමත් දිවිගෙවන තාත්තා සහ නංගීත් ඇගේ දුවා දරුවනුත් සම`ග, සමාගමයේ ගෙවීයන දින දෙක තුන තුල අතීත මතකයන්ට විත් විවේක ගන්නට සිතේ ඉඩක් නොවීය. වත්තේ ඇවිදින්නට වූ විට පසුපසින් ඇවිදිමින් ද, පුටුවක ඉඳගත් විටෙක ඔඩොක්කුවේ ඉඳගනිමින් ද, නින්දට වූ විට ඇඳ අසල ක‍්‍රීඩාවේ යෙදෙමින් ද නැගණියගේ දරුවන් මා සමගම විය.  සමහර මතකයන් උපන් තැනදීම මියගියේ මේ හේතුවෙන් විය යුතුය. 

       විවාහ වී ඉමදුවේ තම සැමියාගේ නිවසෙහි පදිංචි වී සිටි නංගී නැවත කාමරංගහවත්තට පැමිණියේ අම්මාගේ වියෝවීමෙන් පසුව ය.  විවාහයෙන් පසු අගනුවර කුලී නිවසක තාවකාලිකව නැවතී සිටි මගේ නිවසට තාත්තා මනාප නොවීය.  ”අතපය දිගාරින්නට ඉඩ මඳ වීම, ඇවිදින්නවත් තැනක් නැති වීම” වැනි ප‍්‍රධාන ප‍්‍රශ්න කීපයක්ම මගේ නිවසේ රැුඳී වුන් සෑම දිනකම පාහේ තාත්තාට ඉතිරි වී තිබුණි. තාත්තා කාමරංගහවත්තේ තනිවම නතර විය.  නංගී නිවසට ආවේ තාත්තා ඇගේ නිවසට යාමටද අකැමති වූ නිසාය. ”තාත්තා හොඳින් බලාකියා ගන්නට  ඕනෑ ” නංගි නිතර කීවාය. මසකට වරක් අවශ්‍යයෙන්ම ගෙදර ආ මගේ ඒ ගමන දෙමසකට හෝ තෙසමකට වරක් ලෙස අඩුවුනේ නංගීගේ මේ ආගමනයත් සම`ග ය. පරිපාලන සේවයේ ඉහළ නිළධාරී තනතුරකට පත්වනු පිණිස එක්ලහි මා සටන් වැදුනේ අවි දරාගත් සටන්කාමියෙකු මෙනි. සාධාරණිකරණය කිරිමට සෑමතන්හි මා උත්සාහ දැරුවද ඒ අපමණ කාර්යබහුල වීමෙන් ගිලිහි ගිය කාලය සහ යුතුකම් පිළබඳ මා තුළ දැඩි පසුතැවිල්ලක් ඇත. නංගීගේ සම්ප‍්‍රාප්තියෙන් වසර කිහිපයකට පසු අම්මා විසින් මගේ නමට ලියන ලද අක්කරයක පොල් වත්තකුත්, තාත්තා සින්නක්කර ලියන ලද බටුවත්ත මුඩු ඉඩමත් හැර, ලැටිස් ගසා සකසා ඇති ඉස්තෝප්පුව සහිත පැරණි  ඕලන්දක්කාර පන්නයේ කාමර පහකින් යුත් නිවසත්, ඊට යාබදව සාදන ලද කුස්සිය සහිත ”පොඩි ගේ” ඇතුළු තාත්තාගේ සියලූම දේපළ තම නමට ලියවා ගැනීමට ඇය සමර්ථ වූවා ය. නිතර ගමට නොපැමිණීමට මෙයද කුඩා හෝ වශයෙන් බලපාන්නට ඇත.
පසුගිය සිකුරාදා රාත‍්‍රියේ මමත් බිරිඳත් පුතුන් තිදෙනාත් කාමරංගහවතතේ මහගෙදර බලා ආවේ සෑම වසරකටම වරක්  අම්මාගේ ගුණ සිහිකර පිරිනැමෙන සංඝගත දක්‍ෂිණාවට සහභාගී වනු පිණිසය. දන් පිරිනැමීම යෙදී තිබුණේ ඉරිදා දිනට වුවත් සිකුරාදා රාත‍්‍රියේම අපි වැලිගම බලා ආවෙමු. දෙනිපිටිය පොළෙන් සියලූ කළමණා මිලදී ගැනීමට නංගීත් ඇගේ සැමියාත් කටයුතු සූදානම් කොට තිබුණි. සෙනසුරාදා වැල්ලෙන් ගෙන ආ අලුත් කෙලවල්ලා මාළු කෑලි කපා, මිරිස් නුමුහු කොට අඹරාගත් තුනපහ හා ගම්මිරිස් මිශ‍්‍රණයේ දවටා, මැටි ඇතිලියේ   පතුලේ බහා, ඇඹුල් තියල් කරන ලද්දේ නංගී සහ නිවස අවට ඥාති ගැහැනුන්ය. ”අයියට  ඕන නම් ඔය සංග‍්‍රහයට මොනවාහරි කෑමට දෙයක් ගේන්න. අනික්වා ඔක්කොම හරිනෙ” යැයි නංගී කීවේ මේ සඳහා මගේ දායකත්‍වයටත් වඩා මගේ හිත සනසන අටියෙනැයි මට සිතිණ. රාත‍්‍රී බණට ගෙදරට පැමිණෙන්නන්ට සංග‍්‍රහ කරන්නට අවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවක්ද සාක්කුවේ දමාගෙන සෙනසුරාදා සැඳෑවේ මම ගාලු ආවෙමි.  මෝටර් රථයේ සුළු කාර්මික දෝෂය යථාතත්‍වයට පත් කරගනු පිණිසත් නිදහසේ ඇවිද යන අදහසිනුත්ය, වැලිගම නොනැවතී මා ගාලු ආයේ.  


         වසර විස්සකට පමණ පසුව මට සිරිනි මුණ ගැසුණේ ගාල්ලේ සුපිරි වෙළඳසලක බඩු බාහිරාදිය තෝරමින් සිටියදීය. 
        ගාලු කොටුව අසලින් මුහුදේ සූර්යයා සැඟවීමට සූදානම්ව සිටි මොහොතේ ඒ අවසන් හිරු කිරණේ හිනාවෙන් ප‍්‍රභාමත් වූ උණුසුමෙන් හා සිසිලසෙන් සමව පිහිටි, සුපිරි වෙළඳසල කෙළවර තැනකදී, මා ඇය අහඹු සේයාවක් සේ දැක ගත්තී ය. වසර තිහකටත් එපිට කවදාදෝ දිනයක දුටු පරිදි තැඹිලි තෙල් ගා දෙකරළට ගොතා ළැම මත හොවාගෙන සිටි කෙස් කළඹ තැනින් තැන අඩු වැඩි වශයෙන් කපා වර්ණ ගන්වා තිබුණද, පෙර කිසි දිනක ඈ විසින් අඳිනු නොලැබු ඩෙනිම් වර්ගයේ කලිසමකින් නිතඹ සිරකරගෙන සිටියදී වුවද, පුළුල් කරැුති නවීන පන්නයේ හැට්ටයකින් සැරසී, විශාල තෝඩු දෙකකින් දෙකන සරසා ගෙන සිටියදී වුවද, මම ඇය හඳුනා ගතිමි.  කොටින් ම වසර ගණනාවකට පසුව ඇය දකිද්දී වුවත් ඇය වියපත් නොවී තවත් තරුණ වූයේ කෙසේදැයි සිතුවා විනා මේ නම් මා කලක් දැන හැඳින සිටි යුවතිය නොවේ යැයි මට නොසිතුණි.  එසැනින් කන්ණාඩියෙන් උදෑසන දකින තැනින් තැන කොණ්ඩය සුදු පැහැ ගැන්වුණු රැුළි වැටුණු, මුහුණැති වියපත් මගේ රුව ඇඳී මැකී ගියේ ය. සිරිනිගේම රූපය රැුගත් මේ යුවතිය කාගේ කවුරුන්දැයි දැනගැනීමේ ප‍්‍රභල ආශාවකින් මා පෙලන ලදී.  ඒ මා නොදන්නා කථාව දැනගනු රිසිනි ඇය වෙතට පියමැන්නේ.  ආන්න ඒ මෙහොතේදී, මගේ සිවුවන පියවර එසැවෙන්නටත් ප‍්‍රථමයෙන් මා දන්නා හඳුනන සිරිනි නාඔටුන්න  මා නොදන්නා නොහඳුනන මේ අලූත් වූ සිරිනි වෙත ලාලිත ගමනින් පැමිණයා ය.  කාලය, පරිසරය, වටපිටාව, වායුගෝලය හෝ හෘදය ස්පන්‍ධනය පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව මොහොතක්, ඇත්තටම නිමේෂයන් ගණනාවක් ගතවන්නට ඇත. ඈ සම`ග නොදොඩාම හැරී ආපසු යන්නටත් ඈ සම`ග මොහොතක් කථා කරන්නටත් යන වුවමනාවන් දෙකම මට ඇති විය.  අවසානයේ දෙවනුව ඇතිවූ උවමනාව පළමුවැන්න අභිබැවීය. 
සිරිනි.....
ඇය මා හඳුනාගත්තීය. පූදුම වූවාය. සතුටු වූවාය. යමක් කියන්නට උත්සාහ කළාය. ඇගේ පළමු බැල්මේ කියැවුනු ඒ අප‍්‍රමාණ කතාවන් ඔප දැමීම් දස දහසකින් ස්ථාවර වී මාවෙත ඉතිරි කර දුන්නේ, මාවතක දී එදිනෙදා දකින්නෙකුට ලැබෙන ආකාරයේ සුවිශේෂ නොවූ සාමාන්‍ය බැල්මක් පමණකි. 
"ආනේ......මේ ජයදේවනෙ....! අවුරුදු ගාණකින්....."
"මයෙ හිතේ අවුරුදු විසිපහකට විතර පස්සේ....නේද? " වදනින් ඇසූ ඒ පැනයත් සමගම මම ප‍්‍රශ්නාර්ථයකින් ඈ අසළ සිටි යුවතිය දෙස බැලීමි.
         "මේ මගෙ දුව..."

"ඔයා ඒ කාලෙ වගේමයි.... මම රැවටුනත් එක්ක...."

"එයාගෙ නම ජයත‍්‍රීි "

මගේ හදවත රිදුනාදැයි හරිහැටි දැනගන්නා අරමුණින් ඇය හොඳින් මා දෑස දෙස බලා වුන්නී ය. අප පෙම්වතුන් වූ යුගයක් අපට තිබිණ. එකල මතු දිනක අපට උපදිනා දියැණියට ජයාත‍්‍රී යන නම තබන්නට අපි කථිකා කර ගතිමු. දෙකන් දෙපසින් සුදු පැහැ ගැන්වුනු කෙස්වැටියත්, පෙරදාට වඩා තරවුණු සිරුරත්, දෑස යටින් වැටීතිබූ  රැළි කිහිපයත් අතරින් ඇය මට අවනඩුවක ස්වරූපයෙන් දියණිය දෙස බලමින් කථා කළාය.  
"දුව දැන් කැළණි කැම්පස් එකේ දෙවනි අවුරුද්දෙ ඉන්නෙ"

        මම ඇගේ දියණියගේ උරහිස මත අත තබා ඇය මා වෙත පිළිගතිමි.  නාසය මත රැඳී තිබූ මගේ උපැස් යුවල වමතේ දබරැඟිල්ලෙන් දෑසට තදකර ගනිද්දී  "මට සල්ලි දෙන්න අම්මා, මං බිල ගෙවන්නං" යැයි කියා ඇය මොහොතකට සමුගත්තාය. 

දියණිය ඉදිරියේ සිරිනි සිය සිතැඟි නොපෙන්වූවාය. මම මගේ පුතුන් තිදෙනා ගැනත්, ඈ සිය දියණිය ගැනත් කථා කළෙමු. එහෙත් අර ඈත පෙනෙන කොටු බැම්මේ කෙළවරක ගුලිවී ගෙවා දැමූ නිමේෂයන් එකිනෙකාට මතක් කර නොදුන්නෙමු. ජීවිකාවේ අසීරු අමාරුකම් විමසා ගතිමු. නමුදු පෙර දිනක හිරු මියෙන මොහොතක ගාලූ වෙරළේ තනිවී ඇගේ කොපුළක් සිපගත් රහසිගත පේ‍්‍රමය ගැන වදනක්ද නොකීවෙමු.  අතීත මිතුරන් ගැන විමසීමු. නමුදු  බස්රථ තුළ නැ`ගී, ගමනාන්තය කොහිදැයි පවා හෝ නොදැන ගමන් ගත් ආදරණිය දිනයන් උවමනාවෙන්ම අමතක කළෙමු. කාලගුණය ගැන කථා කළෙමු. නමුදු පෙර දිනක මහ අවුකූටකේ එකිනෙකාගේ දහඩිය පුසුඹ පවා ඉවසමින් ඇගේ ඇලෙමින් කෝච්චියේ හිටගෙන හෝ ඉඳගෙන ආදරබස් තෙපලමින් ගමන්ගත් දිවා කාලයන් අමතක කළෙමු. පෙරදා තිබූ පරිසරය වෙනස් වී ඇති අයුරුත් නව පරිසරයක ආගමනය සිදුවී ඇති අයුරුත් කථා කළෙමු. එහෙත් වියපත්ව රැළි ගැසුණු චර්මයන්ගෙන් යුතුව සුදු වුණු හිසකේ දරමින්ම නාකි වී ගිය අප ගැන කථා නොකළෙමු.  

දියණිය බිල ගෙවන අතරතුර මම ඇයට මගේ ජංගම දුරකථන අංකය ලබා දුනිමි. ”ආපහු කොළඹ යන්න කළින් මට ඔයාව කොහොම හරි මුණගැහෙන්න  ඕන ඉක්මනටම” මා කිවේ එපමණකි. ඔයා එනවද? එන්න පුළුවන් දවස කවදද? හමුවෙන්න උවමනා මොන හේතුව නිසාද යන කිසිදු කාරණාවක් නොඅසාම දියණියට අතින් සන් කොට මම නැවත හැරුණෙමි.  ඇය එන බව මම තරයේම විශ්වාස කළෙමි. ඒ අඳුරු වැසිබර සැඳෑවේ සිිරිනි ගෙන්ද ඇගේ අලුත් රුව දැරූ දියණියගෙන්ද සමුගත්තේ එලෙසිනි. 

වැලිගම සුමංගලයේ සිට හය වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ගාල්ලේ ප‍්‍රසිද්ධ පිරිමි පාසලකට ඇතුළත් කරනු ලැබූ මා මුලින්ම පාසල් ගියේ නේවාසිකාගාරයේ නැවතී සිටය. නිවසේ සිට යාමට ඊමට තරම් උස්මහත් වූ විට තාත්තා මට දුම්රිය වාර ප‍්‍රවේශ පත‍්‍රයක් අරන් දුන්නේය. ඊටත් මා ගෙදර ගෙන එන්න යැයි කළ අම්මාගේ කන්දොස්කිරියාවෙන් මිදීමට එසේ කළා වන්නටද ඇත. පුළුල් නළලකින්, තැඹිලි තෙල් ගා ගොතන ලද අක්බමරු කොණ්ඩා කරළ් දෙකකින්, පුළුල් අහංකාර දෙවුරකින් සහ පුළුල් උකුලකින්ද, පිරුණු නිතඹකින් හා වැඩුණු අනුරාගී දෙපියොවුරින්ද යුතු සාඩම්බර යුවතියකව සිටියදී මට ඇය හමුවුණේ, මගේ සුන්දර සුහඹුල් තරුණ සමයේදීය. ඒ පාසල නිමවී තෙහෙට්ටුවට පත්ව ගෙදර යමින් සිටි සැඳෑවක කෝච්චි පෙට්ටියේ කෙලවරකදී ය. දිනය කවදාද යන්න අමතක වුවත් ඈ දුටු පළමු දිනයේ, ඈ මට දුන් අපමණ අහංකාර බැල්ම මියෙන තුරු ම‘සිතේ රැඳී තිබෙනු ඇත. බොහෝ වේලාවක් මා ඈ වෙත බලා උන් බව දත් ඈ අර දිළිසෙන කොණ්ඩා කරළ ළ‘මැද පිට වැටී තිබියදී ඔසවා පිටිපස්සට විසිකර දැමුවේ මගේ කම්මුලට අතුල් පහරක් ගසන විලසිනි. ලෝභ කමකින් තොරව ඈ මා දෙස රවා නොබලන්නට, තවත් තව තවත්  ඈ දෙස බලන්නට මා නොපෙළඹෙන්නට ඉඩ තිබුණි.  නැවත නැවතත් ඇගේ බැල්මෙන් දඬුවම් ලබමින් මම ඈ දෙසම බලා වුන්නෙමි. සිනා වන විට සිහින් වන තුඟු දෑසකින්, දිගු තියුණු නැහැයකින්, තදින් පියවුණු සිහින් දෙතොලකින්, උපන් ලපයකින් හැඩවුණු බෙදුනු නිකටකින් සහ ඡවි අනුරාගී සමකින්ද යුතු  ඕ ඒ නිසාවෙන් ම අහංකාර යුවතියක වූවාය.  කෝච්චියේ ලී ආධාරකයේ එල්ලී ඈ කෙරේ හිනැහෙමින් වසරක්ම ගෙවූ පසු දවසක් දා ඈ හා දොඩන්නට මම සමත් වීමි. 

අවසානයේ ඇය වදනින් නොපවසාම මට ආදරය කළාය. අපේ ආදරය රේල් පාරවල් දිගේ සමාන්තරව ඇවිද යාමට, සෙනඟ වැඩි උදෑසනක කෝච්චියේ දී ඇඟිල්ලකින් අල්ලා ගැනීමකට, සහ ආදරබර බැල්මකින් කෘතඥශීලී වීමකට පමණක් සීමා විය. එනමුත් එ් පේ‍්‍රමය අසීමිත පෙම්පත් උල්පතකට හිමිකම් කීය. ඈ විසින් එවන ලද සියලූ පෙම් හසුන් මෑතක් වන තුරුම මහ ගෙදර මගේ කාමරයේ සඟවා තිබුණි. ඒ පෙම්පත් සියල්ල ඇය සිතින් මවාගෙන ම’විසින් සිපගත් වාර අනන්තය, අප‍්‍රමාණය. එවන් මොහොතක සිරිනි උදෙසා ම’සිතේ උපන් සෙනෙහස කිසිදිනක මගේ බිරිඳ කෙරෙහි පවා ඉපදී නැත. එය ප‍්‍රථම පේ‍්‍රමයේ අනන්‍යතාවය විය යුතුය. සත්තකින්ම ඇයට පෙර හෝ පසුව මා එතරම් තදින් පිටස්තර ගැහැනියකට පෙම්කර නොමැත. 

දන් පිරිනැමීම අවසන් වූ පසු දවාලේ නිවසේ සියලූ දෙනා එක් වී සතුටු සාමීචියේ යෙදී සිටියදී නංගී ඇගේ වැඩිමල් දියණියට ගෙනෙන ලද විවාහ යෝජනාවක් පිළිබඳ විස්තර කීවාය. මැටරඹ මා දන්නා හඳුනන මිතුරෙක් වේ නම්, විස්තර අසා මනමාල පාර්ශවය පිළිබඳ සොයා බලන්න යැයි ඇය මගෙන් ඉල්ලා සිටියාය.

 "කේන්දරේ නම් හොඳටම හොඳයි කියල බලවපු හැම තැනින්ම කිවුව අයියෙ, පොරොන්දම් බැලුවම සීයට අසූවක්ම ගැලපෙනවයි කිවුවෙ."


"ඔය විකාර බොරු කථා, කේන්දරේ නෙවෙයි මිනිහ ගැලපෙනවද කියලයි බලන්න  ඕන. ඔය විකාර ඔළුවට දාගත්තොත් හිතටමයි කරදර."


"දැන් ඔහොම කිව්වට කේන්දර කීයක් බලලද අයිය අක්කගෙ කේන්දරේට කැමති වෙලා බැන්ඳෙ?" 

          මම නිරුත්තර වීමි. ඇගේ කථාවද මගේ කථාව මෙන්ම මගින් නැවතිණ. ඒ මෙහොතේ දී ඇතිවූ අපහසුතාවයෙන් මා ගලවා ගන්නට මෙන් මගේ දුරකථනය සිරිනි නමින් හැඬවිණි. ඒ මා තුළ දැල්වෙමින් පැවතුන අපේක්‍ෂාවයි. ඈ කථා කරන විට සන්ධ්‍යාව ඇරඹි තිබුණද, අවසන ඈ දකිනු රිසින් මම කොග්ගල ගියෙමි. 

කොග්ගල ඩිපෝව අසල බස්නැවතුමකදී මම ඇය සොයාගතිමි. ඇය පළමුව මා සමග මෝටර් රථයෙහි ගමන් ගැනීමට නොකැමති වූවාය. ‘පාරේ ඉඳගෙන මෙහෙම කථා කර කර ඉන්න එක ඔයාට කමක්නැත්නම් මට මොකද’ කී විට ඇය පැමිණ ඉදිරිපස අසුනේ ඉඳගත්තාය. ගාලූ පාරෙන් හැරි මුහුදු වෙරළ දෙසට දිවෙන පටුමගක මගක් දුර ගොස්  වෙරළ සමීපයට වන්නට රිය නැවැත්වූ මම රථය තුළ හිඳගෙනම දියඹදෙස බලා සිටින්නට වුණෙමි. මොහොතකින් අපි දෙදෙනා එකිනෙකා දෙස බලා හිඳින්නට වීමු. සිනහවක් නොන`ගා, මුවින් නොබැණම හදවත රිසිවූ තරම් වෙලාවක් අපි, අපි දෙසම බලා සිටියෙමු. පෙර කිසි දිනක කිවයුතු යැයි නොහැඟුන මුත්, දැන් ඇයට කියන්නට මා සතුව අපමණ දෑ ඇතැයි මට සිතේ. නමදු අවසන දොඩමළු වුණේ ඇගේ දෑසයි. ඒ දොඩමළු කඳුළු ඇගේ දෙකොපුල් හරහා වේගයෙන් ගලාවිත්, කොපුලේ තැවරි තිබූ යටගිය වේදනාබර මතකයන් මකා දමන්නට වෙර දැරූ අතර වහා ළයනිම්නයේ සැඟවෙමින් ළය ඇවිළුණු වේදනාවට සිහිල ගෙනදුණි. 

"එහෙනම් ඔයා බය වුණේ කේන්දරේටයි.....නේද ජයේ...."

"සිරිනි...... " මට වෙනත් කියන්නට දෙයක් දෙතොළට නොනැ`ගිණි.

"සරත් මට කිවුව...."

     ඈ දෙස එක එල්ලේ බැලීමට නොහැකිව රථයෙන් බැස අවුත් මා මුහුද දෙස බලා උන්නේ කුමක් කිවයුතුදැයි හෝ පිළිතුර කොතනින් ඇරඹිය යුතු දැයි සිතමිනි. තවත් විනාඩි කිහිපයක් ගතවූ තැන ඇය මා අසළට ආවාය. 

     "දන්න කාලෙ ඉඳලම සරත් මගේ හොඳම යාලුව වෙලා ඉඳලත්, මෙහෙම කරයි කියල හීනෙන් වත් හිතනවද සිරි. ඒ කතාව බොරුවක් බව දැනගත්තෙ මගෙ දෙවෙනි පුතාවත් ඉපදුනාට පස්සෙ. ඒකත් මට සරත්මයි ලියල එවල තිබුණේ. ‘හෘද සාක්‍ෂියට එකඟව තවත් මේක හංගන්න බෑ’ කියල ඌ ලියල තිබුණ. සරත් ඔයාව බැන්ඳ කියල ලියල තියෙනවම දැක්කම මට පිස්සු නොහැදුනා විතරයි. ඒ දවස් වල සරත්ගෙ මාම මේ පළාතෙම හිටපු දක්‍ෂම ජෝතිෂ්‍ය කාරයෙක්. ඔයා මට කේන්දරේ ගෙනත් දුන්නම මම සරාට දුන්නෙ බලවල ගේන්න. පළමුවෙන් කසාද බඳින මිනිහ මැරෙණව කිවුවම ඇත්තටම මං බය වුණා තමයි. ඌ මහ නරුමයෙක්. ඔයාම කියන්න එදා මං හිටපු තැන ඔයා හිටියනම් ඔයා මොකද කරන්නෙ. මං කරපු දේ වැරදියි තමයි. ඒ වැරුද්දට මට ඔයාගෙන් සමාව ඉල්ලන්නවත් බැරි තරම් මට ලැජ්ජයි......."

           "සරත් කියල තියෙන්නේ බොරුවක්ම නෙවෙයි ජයේ. ඒක ඇත්ත වුණා... " අවසන් වදන් පෙළ කියද්දී සිරිනිගේ හඬ ඉතා සිහින් එකක් විය. ඇය ආයේ අලූත් කරගත් කඳුළු ගොන්නකට, දෙනෙතට එන්නට අවසර දුන්නීය.

"මොනවා....සරත්ට මොකද?"  මම ඉන් විමතියට පත් වුණෙමි.

"පිළිකාවකින් සරත් මැරෙනකොට දුවට අවුරුදු දහයයි. ඒත් සරත්ට වෛර කරන්න එපා ජයේ. ඒ මනුස්සය මට ඇත්තටම ආදරය කළා. මට ඒක එයත් එක්ක ගතකරපු පුංචි කාළෙට හොඳටම දැනුණ. ඔයාටත් කළින් ඉඳල සරත් මා ගැන හිතුවලූ. කේන්දරේ වරදක් කියල ඒ නිසා ඔයා මගෙන් ඈත්වුනොත් ඒ ඇත්තටම ආදරයක් නැති නිසානෙ කියල එයා හිතුවලූ. තමන් කළේ වරදක් කියල එයා හැම වෙලාවෙම කිවුව. සමහරවිට සරත් ඒ ගැන වැඩිපුර හිත හිතා ඉන්න ඇති. නැත්නම් කේන්දරේ කියපු දේ ඇත්ත වෙන්නැති."

ඇය කීවේ උපහාසාත්මක සිනහවකින් මුව සරසා ගනිමිනි. මම යළිදු විපිළිසර වීමි. ඇය යළි හඬ අවදි කළා ය. 

"තරුණ කාලෙම මං කණවැන්දුම් ගැනියෙක් වූණා. සරත් පිළිකාවෙන් දුක් විඳිද්දි වරදක් නැතුවම මමත් දුක් වින්ඳ. කොහෙද ගිය කේන්දරයක් නිසා තවමත් දුක් විඳිනව. මොනව වුණත් ඔයාගෙ වාසනාවට ඔයා බේරුණා. ඒක පාරාවළල්ලක් වුණේ සරත්ට....."

එහි ඍජු නෝක්කාඩුවක් හා පැමිණිල්ලක් තිබුණා යැයි ම’සිතට දැනිණි.

"ඇයි සිරී මං දුක් විඳින්නෙ නැහැ කියලද හිතන්නෙ. ඔයාට මොනව වෙලා ඇත්ද, මං කරපුදේ කොයිතරම් වැරදිද, කියල හිතල දවසකට දසදාස් වාරයක් මං මැරි මැරි උපදිනව......මට සමාවෙන්න සිරි කියල දවසකට කී වතාවක් කියනවද කියල ඔයා දන්නවද?"

මගේ දෑසේ කඳුළු දියවර කැළඹුණේ එවිටයි. 

"ඇත්තටම ඔයා මට ආදරය කළාද ජයේ....!

         ඇගේ හඬ වෙරළේ පෙණපිඬු තුළින් පටන්ගෙන ඈත දියඹතෙක් පැතිර ගියේය. හදවත පුපුරා රුධිරය ගලනු ඇතැයි හැෙඟන තරමේ වේදනාවක් මගේ පංචස්කන්‍ධය පුරා පැතිර ගියේය. ඒ මගේ වේදනාව සමනය කරනු පිණිස සිරිනිගේ දෑසින් ගලා ආ කඳුලේ සඳුන් සිහිල මා ළමැද තෙත් කරවීය. ”මට සමාවෙන්න” යැයි කියාගනු නොහැකිව දෙතොළ අගුළුවැටී තිබුණි. ඒ සුහුඹුල් යොවුන් සමයේ දිනක පෙම්පතක් සිපගත් ආදරයෙන්ම සීරුවට මම ඇගේ හිස සිපගතිමි. පෙරදා විඳ හුරු පුරුදු තැඹිලි තෙල් පුසුඹ මගේ පෙනහළු පුරවමින් යළි කිසිදිනක නිවරද කළ නොහැකි වරදකට මා වරදකරු කෙරෙනු ලැබීය. ‘මට ඔයාගෙ අනුකම්පාව  ඕන නෑ. මං මේ ගමන ආවෙත් මගේ හිතේ ඔයාගැන තරහක් නෑ කියන්න  ඕන නිසයි. මට ආදරේ නොකළ මිනිහෙක්ගෙ අනුකම්පාව මට මොකටද’. ඒ වදන සමගින් මා දන්නා හඳුනන අහංකාර ප‍්‍රභාමත් නිරවුල් ගැහැනිය මගේ බැඳීමෙන් දුරුවී ගියාය. කොටින්ම මගේ නිදහසට කරුණු නොවිමසාම ඇය වෙන්වී ගියාය.

        ඇගෙන් වෙන්වී නිවසට පැමිණෙන අතරතුරේ කැරකෝප්පුවේ රථය නැවැත්වූ මම මගේ දෙස්දෙන හදවත අස්වසා ගනු පිණිස මළහිරු සම`ග වැළපුනෙමි. සැඳෑ හිරු වියැකෙණ රන්වන් නිමේෂයේ පළමුව කොහේ හෝ සෙහොන් කොතක නිධන් වී සිටින මගේ ඉපැරණි වංචාකාරි නිවට මිතුරාට සාප කළෙමි. දෙවනුව වියපත් හදවතේ උපන් උපේක්‍ෂා සහගත නිරවුල් සුවයක් විඳිනු පිණිස ඒ මිනිසාට අනුකම්පා කළෙමි. එවැනි අනුකම්පාව මුසු හැඟුමක්, එවැනි නිදහස් මනසක් මට මින්පෙර හදවතට දැනී නැත.

ආයුබෝවන්...! ඒ සුන්දර සමනල් සමයට !
ආයුබෝවන්....! ඒ ඉමිහිරි ආදරයට....

හතරවටින් ඇඳිරි වැටීගෙන එන මොහොතේ කරුවළ බිඳක් මුහුණේ තවරාගෙන හිඳගෙන වුන් සොහොන් කොත මතින් නැගී සිටියෙමි. 







නදීශා දිල්රුක්ෂි ගමගේ

17 comments:

  1. කාලෙකට පස්සේ දැඛපු හොඳම බ්ලොග් සටහන මේක වෙනන් ඕනේ. කොටින්ම මේක ලියවෙලා තියෙන විදිහට මාත් මේ පරිසරයටම ගියා වගේ දැනුනා.

    ReplyDelete
  2. ඔත්තුව දුන්නේ උඩින් කොමෙන්ට් කරලා තියෙන කෙනා.. බොහෝම සුන්දර බ්ලොග් අඩවියක්., මේකේ වටිනාකම, ආත්මතෘප්තියට ලියනා දෙයක් බව හොඳින් වැටහීමයි. මම ප්‍රසිද්දියක් ලබා දෙන්නම්. සින්ඩියෙත් එල්ලුවා.

    ReplyDelete
  3. බොහොම සැහැල්ලුවෙන් කතාව දිගටම කියවගෙන ආවා.

    //"සරත් කියල තියෙන්නේ බොරුවක්ම නෙවෙයි ජයේ. ඒක ඇත්ත වුණා... " //

    මෙන්න මේ වාක්‍යය ක්යවනකොට එක පාරටම මාව dim වුනා. ඒ වාක්‍යය ඇත්තටම ඒ වෙලාවේ feel වුනා.

    මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියන්නේ කතාව ලියපු කෙනා real ම real දක්ෂයෙක් කියන එකයි.

    ඉතින් බ්ලොග් එකට සුබ පැතුම්...

    පාර කිවුවට මාතලන් ටත් බොහොම ස්තුතියි..

    ReplyDelete
  4. ලස්සන කතාවක්. හිත පතුලෙන්ම රස වින්දා.

    ReplyDelete
  5. මාතලන් කියුව පාරෙන් ආවේ , ඉක්මනට කියවල ඉවර කරන්නං බැරිවෙයි , තව කියවන්න විසි හතක් තියනවා , ෆලොවර් ගැජට් එකක් දැම්මානං මසුරන් වටිනවා , වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරන්න

    ReplyDelete
  6. ලියන්නෙ මොකා වුනත් කියන්නෙ. බ්ලොග් එක හොඳයි. හැබැයි පාහරයොන්ට නින්දිතයොන්ට අහුවෙන්න එපා. ඔය හැම වේසිගෙපුතාම ආපු පාරවල් කියාගෙන ගුරුහරුකං දීගෙන එන්නෙම ඇරල යන්න. කොටිංම ඔන් ප්‍රොෆයිල් මං ඔහොම කියාගෙන ආවත් එන්නෙ ඒකටමයි.

    ReplyDelete
  7. මේ සටහන තබන්නේ ඔබව ධෛර්යමත් කරන්නයි. දිගටම ලියන්න. ඔබේ ලේඛන ශෛලිය තවත් වර්ධනය වේවා! මගේ බ්ලොග් රෝලටත් ඔබව ඇතුළු කරගත්තා.

    මාතලන්ටත් ස්තුතියි පාර පෙන්නුවට.

    ReplyDelete
  8. අහම්බෙන් facebook හි දැක පැමිණ කවිරස බ්ලොගයේ ගද්‍ය රසය වින්දෙමි.

    ජයදේව චරිතය ආත්මාර්ථකාමී අමන මෝඩ කුහක එකකි.

    මේ කෙටිකතාව කියවන කීප දෙනෙක් හෝ එය ප්‍රබන්ධයක් බව අමතක කර කේන්දර ගැන අවිදු අඳුරේ තවදුරටත් රැඳෙනු ඇත.

    මෙවැනි කතාවක් මීට පෙර කියවා ඇති මතකයක් ද ඇත.

    ReplyDelete
  9. මාතලන් තමා පාර කීවෙ. හරිම අපූරුයි. පෝස්ට් ඔක්කොම කියවන්නෝනි. ෆලෝවරෙත් දාන්නකෝ.

    ReplyDelete
    Replies
    1. \\මම මගේ පුතුන් තිදෙනා ගැනත්, ඈ සිය දියණිය ගැනත් කථා කළෙමු. එහෙත් අර ඈත පෙනෙන කොටු බැම්මේ කෙළවරක ගුලිවී ගෙවා දැමූ නිමේෂයන් එකිනෙකාට මතක් කර නොදුන්නෙමු. ජීවිකාවේ අසීරු අමාරුකම් විමසා ගතිමු. නමුදු පෙර දිනක හිරු මියෙන මොහොතක ගාලූ වෙරළේ තනිවී ඇගේ කොපුළක් සිපගත් රහසිගත පේ‍්‍රමය ගැන වදනක්ද නොකීවෙමු. අතීත මිතුරන් ගැන විමසීමු. නමුදු බස්රථ තුළ නැ`ගී, ගමනාන්තය කොහිදැයි පවා හෝ නොදැන ගමන් ගත් ආදරණිය දිනයන් උවමනාවෙන්ම අමතක කළෙමු. කාලගුණය ගැන කථා කළෙමු. නමුදු පෙර දිනක මහ අවුකූටකේ එකිනෙකාගේ දහඩිය පුසුඹ පවා ඉවසමින් ඇගේ ඇලෙමින් කෝච්චියේ හිටගෙන හෝ ඉඳගෙන ආදරබස් තෙපලමින් ගමන්ගත් දිවා කාලයන් අමතක කළෙමු. පෙරදා තිබූ පරිසරය වෙනස් වී ඇති අයුරුත් නව පරිසරයක ආගමනය සිදුවී ඇති අයුරුත් කථා කළෙමු. එහෙත් වියපත්ව රැළි ගැසුණු චර්මයන්ගෙන් යුතුව සුදු වුණු හිසකේ දරමින්ම නාකි වී ගිය අප ගැන කථා නොකළෙමු. //

      හිත පතුලටම දැනුනෙ මේ කොටසයි.

      Delete
  10. 2013 ලියු Bitter Coffee ආකෘතියටම ලියපු මේ කෙටිකතාවත් ඔබගේ පරිනත භාවය ඉහලින්ම පිලිබිඹු කරයි....පාර පෙන්නුවාට මාතලන්ට ස්තුතිය...

    ReplyDelete
  11. මාතලන් කිව්ව පාරෙයි ආවෙ මාර රහයි,මෙච්චර කල් හැංගිල හිටියෙ කොහෙද කියලයි මම කල්පනා කොළේ.

    ReplyDelete
  12. ඕ යේස් මාතලංගෙ පාර දිගේ ආවෙ.. ලියාගෙන යං !! අපි එන්නම්.

    ReplyDelete
  13. අර දිග නමක් තියෙන උඩම කමෙන්ට් කරන කෙනා කිව්වේ මේ බ්ලොග් එක කියවන්න කියලා. රසවත් ලියවිල්ලක්. මාතලන්ගේ සින්ඩියේ තියෙන නිසා දිගටම කියවන්න හැකියි.

    ReplyDelete
  14. මං මේ ලියන්නේ නම් අමුම අමු පණ්ඩිත කතාවක්.ඔය මුලින් බඳින මිනිහා මැරෙන කතාව කියන එක කේන්ද්‍ර පිහිටීමක් තමයි කුජ හත.ඕක දැක්ක ගමන් සමහර කේන්දර කාරයෝ හරියට න්‍යෂ්ටික බෝම්බයක් පිටේ බැඳ ගත්තා වගේ බය වෙන්නේ.බය වෙන්න එපා ඕවට පිළියම් තියෙනවා.මොකවත් හරි ගියේ නැත්නම් මුලින් කෙහෙල් ගහකට බන්දවලා පස්සේ ගහ කපලා හරි විවාහය කරවන්න.අනික තමන්ගේ මිනිහා මැරෙනවා තමයි කවදා හරි.

    ReplyDelete
  15. ලස්සන කතාවක් සුපිරි අදහස චේ

    ReplyDelete