Monday, April 11, 2016

මතක.....



අහස දියවී වැටෙන
මතක වරුසාවකට පසු

එන්න ඩිංගිත්තක්
අතින් අල්ලන්
ඇවිද යන්නට
අතීතෙට.......


රොබෙරෝසියා මල් පිරුණ
ගහ යට තනිව බංකුව
නොකියා ම අපේ දඟකම්
සිරුවට ඉවසපු අසීරුව......

අතින් අත නොඅල්ලා.....
ඇස් වලින් දැවටුණ
නුරාබර කතන්දර
හදවතේ පුරෝගෙන...
වෙන වෙන පාරවල 
ඇවිද්දත් අද...
තාම මතකයෙන් අපි
එතනම... එතනම...එතනම...


එන්න ඩිංගිත්තක්
අතින් අත අල්ලන්
ඇවිද යන්නට
අතීතෙට.....






නදීශා දිල්රුක්ෂි ගමගේ



Friday, August 14, 2015

නිරිත දිග මෝසමට ඇරියුමයි මේ ජනේලෙත් හඬවන්න.....!


නිරිත දිග මෝසමට ඇරියුමයි
මේ ජනේලෙත් හඬවන්න.....!!!








හිරු එළිය හොඳ වර්ණවත් කහපාටකින් දිලූනා. ඈත දියඹට වැටුණ අරුණාලෝකය දිලිසෙන ජලයේ වර්ණය ගොඩබිමට ගෙනාවා. ඒත්, අහස් වියන වහගෙන හිටිය අඳුරු වළාකුළු වල තිබුණ ශෝකය ගාලූ පොළොවට වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. තැනින් තැන සිදුරු වුණ අඳුරු පාට වළාකුළු අතරින් රත්තරන් ඉර එළිය පොළොවට වැටෙන හැටි දකින්න කිසි කෙනෙක්ගේ උනන්දුවක් තිබුනෙ නෑ. මං පුටුවෙන් නැගිටලා ගිහින් ජනේලය ඇරියා. ජනෙල් පියන අරිනවත් එක්කම ජනෙල් කණ්ඩිය උඩ තිබුන ‘‘පරේ බෙටි’’ ටික මගේ ඇහැ වැටුණා. ගඳක් සුවඳක් නැති පරෙයි බෙටි. ගාලූ කොළඹ පාරේ  ඕසෙට හෝන් ගහගෙන එහෙටයි මෙහෙටයි දුවන නා නා මාදිලියේ රථවාහන, තට්ටු හතරක් උඩ ඉඳන් බලනකොට පෙනුනේ ඇඟිල්ලකින් උස්සලා විසි කරන්න පුළුවන් තරම් පොඩි ඒවා විදියට. උදේ පාන්දරම ඉඳලම අහසේ තිබුණ අඳුරු වර්ණයන් ඔපලන හිරු කිරණට මං ස්තූතිවන්ත වුණා. තවම නවය පහුවුණා විතරයි. හතරවෙනි තට්ටුවේ ජනේල පේළියෙන් බැලූවම නගරසභා ශාලාවට එපිටින් පේන ලස්සන ඉන්දියන් සාගරේ නිල් පැහැය අද අවපැහැ ගැන්විලා. වැස්සක් ලඟම එන බව මං ඉඟියෙන් වගේ දැනගෙන හිටියා. ඉර එළිය තියෙද්දිම වැස්ස ඉක්මන් වෙන්න තීරණය කලා.

රථ පෙරහැර අතරින් ගාල්ලේ ඉඳන් කළුවැල්ල දිහාවට එක සීරුවට පාපැදිය පදින ‘‘හාදයා’’ ඇඳල හිටියෙ රෝස පාට කමීසයක්. ඉදිරියට නැමි නැමී පාපැදිය පැද්ද ඔහු නගර ශාලාව පහුකලා.

හදිසියේම නිරිතදිග මෝසමේ පොද පේළියක්....!

බයිසිකලේ පදින අතරෙම අර ‘‘හාදයා’’ පිටිපස්සේ ලැගේජ් එක දිහාවට හැරිලා ඇඟ හරවා හරවා, ලැගේජ් එකේ රබර් පටියකින් හිර කරලා තිබුණ කුඬේ එලියට ඇද ගත්තා. ඒ මිනිහ කුඬේ ඉහල ගත්තද මන්දා, කළුවැල්ල පැත්තට දිගටම පැද්දා. නගර ශාලාවට වැටුණ පිවිසුම් මාවතේ දුවගෙන ගිය කාන්තාව පෝටිකෝව යටදි තමන්ගේ ධාවන තරගය ජයග‍්‍රහණය කලා. කෝවිළ ඇතුළට දුවගෙන ගිය බල්ලා, කෝවිලේ මුරකරුගේ උදහසට ලක්වෙලා ආයෙමත් එළියට පැන්නේ වැස්සෙමයි.

වැස්ස වැටෙනකොටම මිනිස්සුන්ට  ඕනා වැස්සට නොතෙමී දුවල ගිහින් වැස්සෙන් බේරෙන්න. ඇයි ඒ කියන ප‍්‍රශ්නය මට හැමදාම හිතට ආවා. වැස්සෙ තෙමෙන එකේ සතුට අත්විඳල නැතුව ඇති...

කාර්යාල සංකීර්ණයේ වම් පැත්තෙ පිහිටපු හැම ජනේලෙටම හීනි හිරිකඩ වැටෙන්න පටන් අරගෙන. ඉන්දියන් සාගරය පිසගෙන හමා  එන අනුකම්පාවෙන් තොර සීතල මෝසම් සුළඟට ඒ හැම ජනේලයක්ම තෙමෙනවා. හැමෝම නැගිටලා තමන්ට අයිති ජනෙල් පියන් වහගන්නේ ඒකයි. මගේ ජනෙල් පියන පිහිටලා තිබුනේ සුළං මුවාවට වෙන්න.

සුදු මම්මව ඉස්පිරිතාලෙ නැවැත්තුව... ඔයැයිට පුළුවන්නෙ දවල්ට යන්න?

පින්දු කතා කරල කිව්වම මං කිසි උත්තරයක් දුන්නෙ නෑ. මං ගියත් නැතත් මං යාවි කියන විශ්වාසය ඇයට තිබුණා. පින්දු බැඳල දැන් අවුරුදු අටක් ඇති. ළමයි තුන්දෙනයි. සුදු මම්ම තමයි පින්දුගෙ ලොකු දරුවෝ දෙන්න බැලූවෙ. හදාවඩා ගත්තෙ. ඒත් ඇය ලෙඩ ඇඳට වැටුන එකම වතාවකවත් පින්දුට බැරිවුනා සුදු මම්මව බලන්න ඉස්පිරිතාලෙට යන්න. එක්කො දරුවෝ තියල එන්න තැනක් නෑ. එක්කෝ උන් ලෙඩ වෙලා. ඒ හැම වෙලාවකම මට සිද්ධ වුණා සුදු මම්ම වෙනුවෙන් ඉස්පිරිතාලෙ නවතින්න. බලාකියා ගන්න. පින්දු මට වඩා අවුරුදු පහක් විතර බාල ඇති. ඉස්කෝලෙන් අස්වෙලා රස්සාවක් හොයාගත්ත ගමන්ම බැන්ඳ. ඒ මං රස්සාවට ගිය අලූත.

වැස්ස ටිකක් විතර තුරල් කලා. මිසිස් සේතුංග ආවෙ වැස්ස ටිකක් අඩු වුණාට පස්සෙ. මේනකාටයි, මයන්තිටයි, එයාලගෙ එදිනෙදා කතා ටික හුවමාරු නියම කරගන්න වෙලාව මේක. එයාල දෙන්න ඒක කරන්නෙ සාමාන්‍යයෙන් උදේ කෑමෙක කන වෙලාවට. ඒත් අද ලොක්ක නැති නිසා දෙන්නම හරිම සැහැල්ලූවෙන් කෑම මේසෙට වාඩි වෙලාම කතාව. හැමවෙලාවෙම අනංගයගෙ චරිතෙ රඟපාන වසන්ත ලිපි ගොනුවක් දිගෑරගෙන වැඩ.

‘‘දවල් වරුවෙ ලෙඞ්ඩු බලන වෙලාවට යන්න  ඕන’’

අපි පුංචි කාලෙ සුදු මම්ම තමා අපිව බලා කියා ගත්තෙ. අපේ අම්ම රස්සාව කළේ මහමෝදර ඉස්පිරිතාලෙ. රැුයක් දවාලක් නැතිව එයා වැඩ කරද්දි තාත්තත් නැති අපිව බලාකියාගත්තෙ සුදු මම්ම. මම්ම බැන්ඳෙ නෑ. ඒ වගේම ඒ ඇයි කියල අපි එයාගෙන් කවදාවත් ඇහුවෙ නෑ. එයා ඒ ගැන අපි කා එක්කවත් කතා කළෙත් නෑ. මම්ම තමයි හැමෝගෙම උදව්වට පදව්වට හිටිය කෙනා. නංගි ඉතිං නිදහස්නේ... හැමෝම කිව්වෙ එහෙමයි. මම්ම හැමදේම උපේක්‍ෂාවෙන් දරාගත්ත. කවදාවත් කිසිම කෙනෙක්ට ගතු කිව්වෙ නෑ. අපේ අම්ම වැඩ ඇරිල එද්දි අපේ වැරදි කිව්වෙ නෑ. පින්දුගෙ වැරදි මටවත් මගේ වැරදි පින්දුටවත් කිව්වෙ නෑ. අපි එකිනෙකාගෙ වැරදි එකිනෙකාට කිව්වෙ නෑ. නංගි රස්සාවට ගිහින් ගෙදර යද්දි ළමයින්ගෙ වැරදි එයාට කිව්වෙ නෑ. එයා ජීවත් වුණේ එයාටම හැරිල. එයාගෙ අභ්‍යන්තරයටම විවෘත වෙලා. සමහර වෙලාවට අපිට කොයිතරම් එයා එක්ක කතා කරන්න  ඕන වුණත් මම්ම කළේ එයාගෙ කාමරේට වැදිල පොතක් හරි පත්තරයක් හරි කියවපු එක. මට නම් එහෙම තමාගෙම අභ්‍යන්තරයට විතරක් විවෘත වෙන්න බැරි තරම් වේදනාවල් ඇති වුණා පින්දුගෙ වැඩත් එක්ක.  

පොඩි එකා පාපන්දුව පයේ පැටලිලා බිම වැටුණා. බෝලෙ උගෙන් ඈතට ගියා. ඌ බැලූවා කවුද තමන් දිහා බලන් ඉන්නෙ කියලා. බස්එකේ වාඩිවෙලා මං ඒකා දිහා බලා හිටිය බව ඒකා දන්නෙ නෑ. ජනාකීර්ණ ගාලූ නගරයේ ඉබාගාතේ ඇවිදින පවුලක ළපටි දරුවෙක්. ඒ දරුවගේ ඇªම් පැළඳුම්, නිරුවත් දෙපා, සිතිවිලි අතරේ මාව තනිකළා. මං ඉඳගෙන හිටියෙ හරියටම පිටිපස්ස දොර ලඟම තියෙන ආසනයේ. ඉස්සරහ බැලූවම දිගටම තියෙන හැම ආසනේකම වගේ මිනිස්සු වාඩිවෙලා හිටියා. ඉඳහිට තැනක ඇරෙන්න. මට ඉස්සරහ ආසනේ වාඩිවෙලා හිටිය මැදිවිය ඉක්මවපු කාන්තාව බොහොම පැහැපත්. ඒ වගේම පුයර තවරලා තොල් සායම් ආලේපනය කල ඒ මුණට  ඕනෙනම් අවුරුදු හනස් පහක් කිව්ව හැකි. දකුණු පැත්තෙන් ගාලූ කොටු පවුර අඳුරු සිනාවක් එක්ක, වම් පැත්තෙන් අලූතෙන් ඉදිවෙන - නිරන්තරේ වෙනස් වෙන ගාලූ නගරය. විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ ඉස්සර ගාල්ලට ඇවිත් බස් එකෙන් බහිද්දි දැනුන ආදරණීය හැ`ගුම දැන් නිතර නිතර ඇහැ ගැටෙන නිසාදෝ මට අද දැනෙන්නෙ නෑ. ඒත්  කොහේ ඉඳල ගාල්ලට ඇවිත් බැස්සත් පළමු පෙම්වතා දකිනව වගේ ආදරයකින් මේ නගරයට මගේ හදවත බැඳෙනවා. නගරයේ ඉඳල කොටු පවුර දිහාවට ඇවිදගෙන යන සංචාරකයෝ අතරේ නිරිතදිග මෝසම ඇරඹෙන වකවානුවෙදි වැඩියෙන් දකින්න ඉන්නේ අග්නි දිග ආසියානු සංචාරකයින්. යුරෝපීයයන් හිඟයි.

මැස්සා ආයෙත් ඇගේ ඇෙ`ග් වැහුවා.....ෟ

ඒක හරිම සාමාන්‍ය සිදුවීමක්. ඒත් මට ඉදිරි අසුනේ හිඳවුන් කාන්තාව මැස්සා තමන්ගෙ ඇෙ`ග් වහන්නෙ නැතිව එලවා දමන්න කිහිප වතාවක්ම උත්සාහ කළා. සමහර මැස්සෝ අපි කොච්චර එලෙව්වත් අපේ වටේම කැරකි කැරකි ඉන්නවා යන්නෙ නැතුව. කාන්තාව අපහසුවට පත් වුණේ ඒකයි.

අතීතයයි වර්තමානයයි අතරේ පුංචි හරි හිඩසක් ඇතිවුණොත් දම්මික ඒකෙන් සිතිවිලි අතරට පැන ගන්නේ හරිම පුංචි නිමේෂයකින්. මූණෙ වහන්න දඟලන මැස්සෙක් වගේ. අපි එකිනෙකා අත් පටලවාගෙන ඇවිද්ද අනාගත හීන දැක්ක අතීතය මොහොකින් වර්තමානය වෙනවා. ඒත් අනාගතය වෙන්නෙ නෑ. දළවැල්ල පැත්තෙ පදිංචි වෙලා හිටිය දම්මිකට අම්මල අකැමැති වුණේ එයැයිගෙ කුලේ අඩුපාඩු කම් කියලා. දම්මික කිව්වෙ එකම දෙයයි. ‘‘ඒක මට මගේ තාත්තගෙන් ලැබිච්ච දේ. ඉතින් මට ඒක ලොකු ගෞරවයක්’’ කියලා විතරයි දම්මික ගැන ගෙදර ඇතිවුණ වචනෙකදි හරි මගේ පැත්තට හිටියෙ මම්ම විතරයි. ගරා වැටිච්ච  ඕලන්ද පැන්නයේ ගෙට බදාම කපරාරු කරන්නටවත් වත්කමක් නොතිබුණාට, අම්මට දම්මිකගේ අඩුපාඩුව හොඳට විශ්ලේෂණය කරන්න පුළුවන් තරම් හැකියාවක් තිබුණා. අපේ පරම්පරාවයි දම්මිකගේ පරම්පරාවයි මූණට මූණ සටන් කරද්දි පරාද වුණේ අපි දෙන්න.

දම්මික විදේශ ගත වුණේ මේ ප‍්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන එන්න. ඒත් එයා ආයෙත් ආවෙ නෑ. එයින් අවුරුදු කීපෙකට පස්සෙ දම්මික විවාහ වුණා. ඒ අපි දන්න කියන අපේ ලඟම නෑදෑ පවුලකම ගෑණු ළමයෙක් එක්ක. සමහරවිට අපිට රිද්දන්න වුවමනාවකුත් තියෙන්න ඇති. ඒකෙන් රිදුනා තමයි. ඒත් දම්මික බැඳලත් ගොඩක් කල් යනකං මට එහෙම සිතිවිල්ලක්වත් ආවෙ නෑ. මට දැනුණෙ මං මොකක්දෝ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඔහේ ජීවත් වෙනවා කියලා විතරයි. ඒ කාලෙ මං අවසන් විභාගෙට ලියලා ගෙදර ඉන්නවා.

ගහෙන් ගෙඩි එන්න වගේ සිද්ධවෙච්ච දම්මිකගෙ මඟුල ආරංචි වුණ වෙලාවේ අපේ අම්ම හරිම ආවේගශීලී වුණා. ඒත් ඊට ටික වෙලාවකට පස්සේ එයාට ඒක සරදමක් වුණා. එයිනුත් දවස් තුනකට පස්සේ එයාට ඒක අමතක වුණා. අපි ආයෙත් සාමාන්‍ය ජීවිතේටම වැටුණා. උදේට නැගිටිනවා, එක්කෙනෙක් අවුරුදු ගාණකට කලින් හදපු  ඕලන්ද විලාසිතාවේ පරණතාලේ ගේ අතුගානවා, තවකෙනෙක් කෑම උයනවා - කනවා, පින්දු ඉස්කෝලෙ යනවා, අම්ම කඬේට ගිහින් පත්තරේ ගේනවා, මාළු කාරයා ආවම සුදු මම්ම හට්ටියක් අරන් පාරට යනවා, ‘‘සුදු මාළුද, රතුමාළුද ගන්නේ’’ කියලා පාරේ ඉඳලම කෑගහල අහනවා, ඊට පස්සේ දවල්ට උයනවා - කනවා, පින්දු ඉස්කෝලෙ ඇරිලා එනකල් පාර බලනවා, හවසට සුදු මම්ම ඔය මොනවාහරි කෑමක් හදනවා, අපි දෙන්න කනවා, ඊට පස්සෙ ? කෑම කාලා බ්ලැකියව ලිහලා නිදාගන්න යනවා. අම්ම වැඩට යන දවසට රාජකාරි බෙදෙන විදිය වෙනස් වෙනවා, ඒත් ඔය රාජකාරි ටිකම තමයි කරන්න තියෙන්නේ.

දම්මික එක්ක මට තිබුණේ අතෑරගන්න බැරි තරම් ලොකු සෙනේහයක්වත් නවකතා පොත් වල තියෙනවා වගේ ආදරයක්වත් නෙවෙයි. මං හිතන්නේ මගේ ස්වභාවයෙන්ම මං කිසි කෙනෙක් එක්ක ගැඹුරු සම්බන්ධකම් පවත්වන කෙනෙක් නෙවෙයි. එයා නැතිවුණා කියල මට ඒ දුක දරාගන්න බැරි වුණේවත්, මගේ ජීවිතේ කිසිම දෙයක් වෙනස් වුණේවත් නැහැ. ඒත් මං විවාහ වෙන එක ටික ටික පස්සට යනකොට, අම්ම හොයපු විවාහ යෝජනා වලට මං අකැමති වෙනකොට පින්දුයි අම්මයි දෙන්නම හිතුවෙ මං දම්මික ගැන හිත හිතා ඉන්නව කියලා. දන්න දන්න නෑදෑයින්ටත් පින්දු හරි අම්ම හරි ඔය කතාව කියපු වෙලාවක් ආරංචි වුණාම මං කේන්ති ගත්ත වෙලාවලූත් නැති වුණා නෙවෙයි. ඒත් මං පින්දුටවත් අම්මටවත් ඒක එහෙම නෙවෙයි කියලා කිව්වෙ නෑ. අනික් පැත්තෙන් හිතුවොත් දම්මික සම්බන්ධ වුණ හීන තවමත් මගේ හිතේ ඉතිරිවෙලා තිබුන නිසාදේ ඔහුව මට වෙලාවකට නොනවත්වාම මතක් වුණා.   

ආයෙත් මැස්සා පියාඹලා වෙන කෙනෙක් ලඟට ගියා... කාන්තාව කවුළුවෙන් එළිය බැලූවා.

මම්ම හිටියෙ ඉස්පිරිතාලෙ අටවෙනි වාට්ටුවෙ. මං දැක්කම මම්මගෙ ඇස් වල අමුතුම එළියක් පැතිරුණා. සුදු මම්මට නොයෙක් විදියේ ලෙඩ තිබුණා. ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, මේ හැම දේම. ඉතාම අමාරු වෙලාවක ඇරෙන්න එයා ඒ හැම අමාරුවක්ම අපෙන් වසන් කලා. මට ජීවිතෙන් අවුරුදු තිස් පහක් යනකල්වත් සුදු මම්මගෙ ජීවන චර්යාව තේරුම් ගන්න බැරිවුණා. පින්දු නම් ඒකට කිසිම මහන්සියක් ගත්තෙ නෑ. එයාට වෙන වැඩ  ඕනවටත් වඩා තිබුණා. කතා කරන්න තරම් ලොකු දෙබස් ගණනාවක් නොතිබුණ විනාඩි විස්සකට පස්සෙ මම්මා එයාගෙග හඬ අවධි කලා.

ලොකූ ආපහු ඔෆිස් යනවයි..

ඇයි මම්ම ගාව කවුරුවත් නවතින්න  ඕන්නැතෙයි?

 ඕන්නෑ... ලොකූ යන්න.. බොරුවට නිවාඩු දාන්න එපා...

පින්දුට එන්න බැරිවෙයි. මං ඉන්නං.  ඕක ඉතින් ඒ හැටි දෙයක් යැ මම්මෙ... 

ලොකූ තාම පමා නෑ... මං වගේ ඉන්නැතුව ඉක්මනින් කසාදයක් කරගන්න... මේ සැරෙත් පත්තරේ දාමු... නැත්නම් ඔයත් මං වගේ අනුන්ගෙ පිහිටෙන් ජීවත් වෙලා මැරිල යාවි.

ඇය එක සැරේටම කිව්වෙ කිසිම සම්බන්ධයක් නැති කතාවක්. අවුරුදු ගාණක් අපි එකට එක විදියේ ජීවිත ගෙවලත් මම්ම කවදාවත් මං එක්ක ඒවගේ දෙයක් කතා කළේ නෑ. මං ඇගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වුනෙත් නෑ.

තමන්ගෙම පවුලක් තියෙනකොට හැමකෙනාම සුරක්‍ෂිතයි ලොකූ....

මම්ම කිව්වෙ එච්චරයි. මං නම් මොකුත්ම කිව්වෙ නෑ. මොනවද කියන්න  ඕන කියල මට හිතට ආවෙ නෑ. පවුලක් විමේ අවශ්‍යතාවය, පවුලක් ඇතුළේ තියෙන ආදරය, සුරක්‍ෂිත කම, වගකීම් ගැන මටත් ආශාවක් නොතිබුණා නෙවෙයි. ඒත් මට ඒකට ලොකු උනන්දුවක් තිබුණෙවත්, හිතේ ඇඳුන විදියේ කෙනෙක් ලැබුනෙවත් නෑ. ‘‘බඳින්න  ඕන වුණා කියලා ඔය අහක යන කුණු ගොඩක් කරේ ගහගන්න බෑනෙ’’ කියල මං දවසක් පින්දුට කිව්වෙ ඉමදූවෙන් ආව යෝජනාවක් ගැන විස්තර අහලා ඒ මනුස්සයගෙ රස්සාව හොඳ මදි නිසා. කාලය ඉක්මනින්ම ගෙවිල යන්නෙ, අපි හිටපු තැනම හිටපු විදියටම ඉන්නකොට.

මං ආපහු කාර්යාලයට එනකොටත් බොහොම දෙනා තමන්ගේ පුටු වලට වෙලා නොයෙක් කතා කියමින් හිනා වෙවී හිටියා. සමහරු තමන්ගෙ දරුව ඉස්කොලෙන් අරගන්න ගිහින්. ඉතිරි වෙලා හිටිය කීපදෙනා ඒ අයගේ පවුල්වල විස්තර කතා කරනවා. මං හෙමින් ඇවිදගෙන ගිහින් මගේ පුටුවේ ඉඳගත්තා. තවත් විනාඩි කීපෙකින් ආයෙමත් නිරිතදිග මෝසම. මගේ ජනේලෙ පුරා තැන තැන කිළිටිවෙලා. ඒ අපිරිසිදු විදුරුවෙන් එහා වැසි වැටෙන සීරුව මට හොඳට පෙනුනෙ නෑ. අපැහැදිලියි. ඒත් ගාලූ අහසින් සීතල වැහි කැට මහපොලෙවට වැටෙන හැටි මං හිතෙන් මවා ගත්තා.

‘‘හෙට අනිද්දට කාට හරි කියලවත් මේ ජනේලෙ හෝදව ගන්න  ඕන.’’








නදීශා දිල්රුක්‍ෂි ගමගේ


Wednesday, May 20, 2015

බැංකොක් හිදීය












දුර බැහැරකැයි නොදැනෙයි
සුපුරැදු වැස්ස වැගිරෙයි......
සැප පහසුවෙන් සපිරැණු
හෝටලේ සුදුපාට කාමරය
හිරකාර බව හිතට හඟවයි....
මග තොටේ පුරුදු කලබල ගතිය
ඇ‌ඟේ හැපෙයි- කකුල් ද පෑගෙයි...
මඩ ඉහෙයි-පොද වැටෙයි-වැටේ හැපෙයි.
එහේ වාගෙම
වාහනයකට නොහැපී
පෙර පිනෙන්-නූලෙන් බේරෙයි......
සෝබර-විඩාබර-පෙම්බර
මුහුණු-මුහුණු-මුහුණු
නොයෙක හැඩැති කොණ්ඩ
ගෙතුණු ලිහුණු ගැහැණු........
පුරුදු නුපුරුදු දහඩිය
කාණුවේ දැනෙයි කුණු ගඳ
වීදුරු දොරෙන් ඔබ්බට
අම්මා-දැනෙන සුසුවඳ.....
දිදුලන නියොන් විදුලිය ළඟම දෙවඟන
විකුණන දෙයක පමණින් නොවෙති මව්බිම.......




කපිල ගමගේ


Tuesday, May 19, 2015

කොළඹ අහස යට 3


උසාවිය අභිමුව හමුවුණ අතීතය

අලූත්කඬේ උසාවිය යනු දෛනිකව සුවිශාල පිරිසක් ගැවසෙන එමෙන්ම සුවිශාල පිරිසක් සිය නීතීඥ සේවා ලබා ගැනීමට පැමිණෙන ස්ථානයකි. අලූත්කඬේ පිහිටි නීති විද්‍යාලයේ පැවැත්වුණ මානව සම්පත් කළමණාකරණය හා නීතිය පිළිබඳ දේශනයකට සහභාගි වූ මම නැවත පැමිණෙමින් සිටි අතර ඉක්මනින්ම කාර්යාලයට පැමිණීමේ අදහසින් පළමුව පැමිණි බසයට නැ ගතිමි. මා බසයට ගොඩවනවාත් සමම දුවවිත් අයෙක් බසයට නැංඟේය. බසයේ පසුපසම අසුනේ මා හිඳගත් පසු ඔහුද මා ආසන්නයේම මගේ ඇටම බරවී හිඳගත්තේ මා කෝප ගන්වන ආකාරයෙනි. ‘‘මේ නොසන්ඩාල මිනිසා කවුරුන්දැයි’’ යන අදහසින් මම ඔහු දෙස හැරී බැලූවෙමි.

සුනා..... මගේ හදවත නන්නාඳුනන ප‍්‍රීතියකින්ද, විශ්මයකින්ද පිරෙන්නට විය.

ඉතින්...     ඒ සුනා ය.

‘‘සුනා’’ නැතිනම් ‘‘සුනන්ද දහම්ප‍්‍රිය’’ මගේ දිවියේ ගෙවී ගිය එක්තරා සුන්දර යුගයක මිහිරි මතකයන් ගොන්නක් තිළිණ කල ඉපැරණි මිතුරෙකි. එකල අපි විවෘත විශ්ව විද්‍යාලයේ නීති සිසුන් වි සිටි සමයේ නිරන්තරයේ අධ්‍යයන කටයුතු පිණිස ගිය මහජන පුස්තකාල පරිශ‍්‍රයේ අපේ මතකයන් ගොනු ගැසී ඇති තැන තවමත් සිත මන්මත් කරවයි.

සෙට් එකේ සිටි දඩබ්බරම සිසුවා - සුනා ය. විනෝදකාමීම සිසුවා - සුනා ය. ජව සම්පන්නම සිසුවා - සුනා ය. දකාරම සිසුවා - සුනා ය. රෙඩිකල්ම සිසුවා - සුනා ය. හැමෝගේම මිතුරා - සුනා ය. බොහෝ ඇසූ පිරි තැන් ඇති පොර වූයේ ද සුනා ය. සියල්ලන් අතරේ පිස්සුම පිස්සු වැඩ කලේ - සුනා ය. එහෙත් සියළුම සිසුන් අතරේ වැඩිම දක්‍ෂකමක් තිබුණේ ද- සුනාට ය. ඒතරම් කඩවසම් කමෙක් නැතද මට දැනෙන්නේ ඔහු දකාර චරිතය රපෑ හින්දි සිනමාවේ නළුවකු ලෙසය.

කැන්ටිමෙන් ගත් සිය තේ කෝප්පය අපෙන් බේරා ගැනීමට ඔහු ඊට හැක්ස් ටොපියක් දැමූ අවස්ථා එමටය. එවිට ඔහුගේ තේ කෝප්පයට කිසිදු ඉල්ලූමක් අපෙන් නොලැබේ. මහජන පුස්තකාලය ඉදිරියෙන් පාර මාරු වූ අතීතයේ දින ගණනාවක ඔහු අංගවිකල රෝගියෙකු ලෙස රපාමින් බොහෝ අමාරුවෙන් ඇවිදගියේ පාරේ ගමන් ගන්නා සුවිසල් රථ පෙළ මොහොතක් ඔහු වෙනුවෙන් පමා කරවමිනි. එපමණකින් නොනැවතෙන ඔහු පාර දෙකට බෙදනා වේදිකාව මතට විත් තමා වෙනුවෙන් නැවතී සිටි රථ හිමියාට ඇසක් ඉඟිකර අනෙක් පසට මාරු වුයේ එතෙක් සිටි අංගවිකල ස්වරූපයෙන් මිදෙමිනි. එවන් බොහෝ විටක රථ හිමියෙකුගෙන් නොමසුරුව ලැබෙනා අසැබි වදනකින් ඔහු කුල්මත් වෙයි. ‘‘උඹේ ඔය ජරා වැඬේ නවත්තපන් බං’’ යැයි මිතුරෙක් කී විට ඔහු දෑස් වපර කොට සියල්ල සාවධානයෙන් අසා සිටී.

සුනා නීති විද්‍යාල ප‍්‍රවේශය සමත්වී ඉක්මනින්ම නීතීඥයෙකු වූ නමුත් මම නීතීඥ සිහිනයෙන් මිදී වෙනත් ගමනක් ඇරඹුවෙමි. ඒ යුගය නිමවා ගෙවී ගිය කාලය පුරා බොහෝ විට අපි හමු වී ඇත්තේ ඉතා සීමිත අවස්ථා ගණනකදී පමණි. ඒ සෑම විටකම ඔහු පෙර සිටි සොඳුරු සුහුඹුල් තරුණයා වී මා විශ්මයටත් අප‍්‍රමාණ සතුටටත් ඇද දැම්මේ දෙවරක් නොසිතාම ය. ඒ අතීතයෙන් පසු කිහිප විටක් අප එකිනෙකා හමුවී ඇතද මේ නැවත ඔහු හමුවූයේ වසර දෙකකට අධික කාලයකට පසුව ය.

ඉතින්......

ඉන්නවා ඔහේ බන්.... ඔහේ මක්කයි මෙහේ ආවේ?... ඒ සුනා ය. මගේ ‘‘දකුණේ සම්භවය’’ මතක් කර දීම ඔහු අමතක නොකළේය.

වෙන මක්කටෙයි ඉතින් ඔපීසියේ වැඩකට තමා... මම ද ඔහුගේ ‘‘දකුණේ උරුව’’ට අනුව කතා කළෙමි.

ඔහේල ඉතින් අපි ගැන හොයා බලන්නේවත් නැහැ නෙව....

ඔහේලත් ඉතින් අපි ගැන හොයන්නේ නැහැනේ...

මට නම් ඉතින් හොයල බලන්ඩ තරම් දුරක උඹ නැහැ.... ඉන්නෙ ලපාතමයි.. මගේ හිතේමයි...

අනේ යන්න සුනා ෆිල්ම් වල දෙබස් කියන්නැතුව....

ෆිල්ම් දෙබස්.... කාලයක් තිබුණා ඔයා ඔය මගේ ෆිල්ම් දෙබස් අහන්ඩ මැරීගෙන හිටිය...
මොකක්... මේ මම ඔයාගේ දෙබස් අහන්න මැරීගෙන හිටියා...

ඔහුගේ ද`ගකාරකමේ මුල් ස්වරූපය අදටත් නොවෙනස්ව පවතී. ඔහුගේ කතා රසවත්ය. විනෝදකාමීය. අහඹු හමුවකදී වුව මුව සිනහ නංවයි. සිත පුරවයි. අතීතය බවට පත්වූ මතකයන් රාශියක් හදවත පුබුදුවන්නට විය. ඔහු එනතුරු ම`ග බලා සිටි අතීතයක්, ඔහු වෙනුවෙන් සකසා ගෙනා බත් පතක්, ඔහු වෙනුවෙන් මිලදී ගත් ඉතා ලාභදායි ඇඳුමක් තෑගි කල අතීතයක්.
               
පබ් එකට යමු ? ඒ ඔහුගේ හඬ. අවසර ගැනීමක්වත් නැතිව කෙලින්ම යෝජනා විතරයි.

ඔෆිස් යන්න පරක්කු වෙනවා....

මටත් එතනට වෙලා දවසම ගෙවන්ඩ බෑ.. ක්ලයන්ට්ස්ල එනවා හවසට... මෙන්න මෙහෙ එනවා යන්ඩ.


සුනා, 138 මහරගම බස් රථයකට බලෙන්ම මා නංවාගත්තේ ‘‘යං නෝනා යං - ළමයි ගෙදරට වෙලා අඬ අඬ ඇත්තේ’’. කියමින් කොන්දොස්තර දෙස බලා ඔහු තුළ අප දෙදෙනා කුහුළක් උපදවමිනි. ඔහුගේ පෙර පුරුදු තවමත් නැවති නැත. මිනිසුන්ට කතා කරන්නට හෝ හිතන්නට මාතෘකා දහසක් ඇති කිරිමට තරම් ඔහු තවමත් සෙල්ලක්කාර ය.


ඉපැරණි මතකයක නටඹුන්
අප මහරගම බස් රථයෙන් බැහැල පුස්තකාල පරිශ‍්‍රයට ඇතුළු වූයේ ගිනි මද්දහනේ ඉහින් කනින් දහදිය වැගිරෙද්දී. සුනාවත් මමවත් මේ අහඹු පැමිණීමෙන් අපමණ සතුටකට පත් වුණේවත් දුක් සෝතැවුලට පත්වුණේවත් නෑ. අපි දෙදෙනාම ඔහේ ඉබාගාතේ ඇවිදින දෙන්නෙක් වගේ ඇවිද ඇවිද පුස්තකාලයේ අතිතයේ ගෙවූ කාලයත් වර්තමාන දිවියේ ඇති අසීමිත වගකීම් සම්භාරයත් පිළිබඳව සෑහෙන අත්දැකීම් ටිකක් බෙදාගත්තා. අපි කොතරම් දුරස් වෙලා වුණත් නොබිඳෙනා බැම්මක් අපි අතරේ තියෙන බව සුනා මට නිතර නිතර මතක් කලා. එදා වගේම අදත් මහජන පුස්තකාලයේ නිදහසේ එහෙ මෙහෙ හැසිරෙන, අධ්‍යාපනයේ නියුතු වන, තරුණ තරුණියන් අපි වගේම කැම වෙලාවෙදී කල්ලි සෑදී ගත් නොයෙක් සුහදශීලී මිතුරු කණ්ඩායම්ද අවට තැන් තැන් වල හැසිරෙනු දැක්කම විතරක් මගේ හිත ටිකක් සසල වුණා වගේ දැනුනා. 

පුස්තකාල ආපන ශාලාවේ අපිළිවෙල අපිරිසිදු මේසයක වටේ තැබූ පුටු වල ඉඳ ගත්ත අප දෙන්නා සුපුරුදු පරිදි කැන්ටිමේ ‘‘තේ අයියාගේ  - තේ යාර දෙකක් සහ ගොටු පිට්ටු දෙකකට’’ වග කිව්වා. පුස්තකාලය දිහා බලාගෙන දවස ගෙවන සුවිසල් ගස් යට සෙවනේ ගෙවූ නිස්කලංක මොහොතකින් පස්සේ අපි දෙන්නා සමුගත්තේ නැවත කවදාදැයි නොදන්නා මෙවන් දිනයක හමුවීමේ පොරොන්දුවෙන්. සුනා එයාගේ අතේ තිබුණ කළු කෝට් එක ගුලි කරගෙන පුස්තකාලේ ඉස්සරහින් ටැක්සියකට නැංගේ ‘‘ඉක්මනට යන්න  ඕන’’ කියලා කියන ගමන්. ඒ විදියට අපි වෙන්වුණේ ඒ අතීත ඉපැරණි මතකයන් ගොන්නට, හදිසි මුණ ගැසීමක මතකයකුත් එක් කරමින්. 



නැඩ්ස්
2015.04.25

කොළඹ අහස යට 2


ඉස්තරම් රැවුළ් කාරයාගේ කතාවස්තුව....



ඩියෝගේ සම්පූර්ණ නාමය ඩියෝ මධුවන්ත වුණත් විශ්ව විද්‍යාලයිය ජීවිතේ ඇතුලේ ඔහුගේ නම‘‘ජැණ්ඩි’’ ඔහුට ඒ නාමය පටබැඳුනේ ඔහු මුලින්ම විශ්ව විද්‍යාලයට ඇතුළත් වුණ දවසේ  ඇඳ පැළඳ ගෙන ආ ජේත්තුකාර විලාශය නිසාලූ. අනෙක් අතට ජ්‍යේශ්ඨ සිසුන් විසින් වෙන වෙන නම් කීපයක් පටබඳින්න උත්සාහ කළත්, ඩියෝ ස්වේඡ්චාවෙන්ම ඉදිරිපත් වෙලා තමන්ව ජැණ්ඩියා කියන නමින් හඳුන්වා ගත්තලූ. වෙන කෙනෙක් තමන්ගේ කැම්පස් කාඞ් එක ගැන අහන හැම වෙලේම ජැණ්ඩියා කියන නම කියන්න ඔහු පසුබට වුණේ නැහැලූ.  ඒක එක්තරා අනන්‍ය ලක්‍ෂණයක් විදියට තමා ඩියෝ නම් කරන්නේ. මිනිහම තමා ඉතින් ඕව කියන්නේ - ඇත්ත නැත්ත කෙසේ වෙතත්.

විවිධ කලා කුසලතා තිබුණත්, මූර්ති ශිල්පියෙක් වීමේ සිහිනයෙන් රිදවුණ ජැණ්ඩියාගේ දෙනෙත් වල රත්පැහැය අතරේ හැම මොහොතේම වගේ තිබුණේ ඒ මුර්ති ශිල්පීය ලක්‍ෂ ටිකක්. මට දැනෙන විදියට - වැවීගත් රැුවුළයි කොණ්ඩෙයි දෙකම වැඩිපුර බැබලූනේ ඩියෝගේ ඇස්වල ලස්සන නිසා. ඒ ඇස් වගේම ඇසි පිහාටුත් දිගුයි. ඒවායේ නොසැ`ගවුණ කතාවක් තිබුණා. කළු හමයි, කොට ඇ`ගිලියි අර ජේත්තුවට සරිලන විදියට දෙවින්ගෙන්  ලැබිල තිබුණේ නෑ. ඒ ඇරෙන්න ඔහුගේ ජේත්තුව හරිම ඉස්තරම් එකක්.

මම ඔහුව හඳුනාගත්තේ ගැලරියේ තිබුණ මූර්ති ප‍්‍රදර්ශනයක දී. විශ්ව විද්‍යාල පළමු වසරේ සිසුන්ගේ මුර්ති දැක්මක් බලන්න මං ගැලරියට ගියේ දවසක් හදිසියේ වගේ. එක මුර්තියක් තිබුණා - ටයරයක් පදවාගෙන හෙලූවෙන් දුවන පොඩි පිරිමි දරුවෙක්. ඒ දරුවා පදවාගෙන යන ටයරයේ තිබුණේ භාගයයි. ඉතිරි භාගේ නෑ. ඉස්සරහින් මූර්තියේ නම ගහලා තිබුණේ ’’මගේ ළමාවිය’’ කියලා. මේ අපූර්ව ළමාවියේ හිමිකරුව හොයන්න මට පැය දෙකක් විතර එතනට වෙලා ඉන්න වුණා.

අන්තිමට ඔහු ආවේ නිකම්ම කොට කලිසමකුයි ටී ෂර්ට් එකකකුයි ඇඳගෙන. මූර්ති ශිල්පියෙක් ලෙස මගේ සිතේ ඇඳී තිබුණ ප‍්‍රතිරූපය නෙවේ එදා මට හමුවුණේ. ඒත් ඔහුගේ මුහුණ වසාගත් මුරණ්ඩු රැුවුළයි, කොණ්ඩෙයි නිසා සිත තදින්ම ඔහු කෙරේ නතු වුණා. ඔහුගේ කලාව කෙරේ නතුවුණා. ඒක අපූර්ව ඇඟෑළුම් කමක් -  ආකර්ශනයක්.

ඔහුට මොන නම තිබුණත්, කවුරු කොහොම කතා කලත් මං මගේ හිතින් ඔහුව ඇමතුවේ - ඉස්තරම් රැවුළ් කාරයා - කියලයි.



හිත හොඳ සෙබලාගේ ටිකට් විකිණීමේ වික‍්‍රමය


ගාලූ මුවදොර පිටියේ බංකුවක් මත කතා අතරේ කාලය ගෙවී යද්දී, අපි ඉදිරියට ආවේ නොඋස් කෙස පුද්ගලයෙක්. කිසිම ගැලපීමක් නැති කමිසයකුයි කලිසමකුයි ඇඳලා හිටිය මේ පුද්ගලයා ඔහුගේ කමිසයේ උඩ බොත්තම් දෙකම විවෘත කරගෙන හිටියේ ඉන්දියන් සාගරයේ සුළට තම නිර්භය භාවය ප‍්‍රකාශ කරන්න වගේ. කෙසේ වෙතත් ඔහු අපිට ලං වෙද්දී ඔහුගෙන් නික්මුණ අධික මත්පැන් දුර්ගන්ධය අපි දෙන්නටම දැනුනා.

‘මල්ලි, ගන්නකෝ මේ ටිකට් එකක්...

මොකක්ද ටිකට් එක. ඩියෝ ඇහුවා.

කාල්ටන් සුපර් ක්‍රොස් මෝටර් රේස් එකේ ටිකට් මල්ලි... එකක් එකසිය පනහයි..

අනේ අයියේ අපි ල සල්ලි නෑනේ.... ඊළ පිළිතුරත් ඩියෝගේ

එහෙම කියන්නෙපා මල්ලි. මං හමුදාවේ කොල්ලෙක්. අපි අවුරුදු ගාණක් යුද්ධෙත් එක්ක හිටියා. අපි නැත්නම් අද ඔයාල මෙහෙම නිදහසේ ඇවිත් ඉන්නෙත් නෑනේ... උදව්වක් කරන්න කොල්ලෝ... ඔය දැන් හමුදාවට යන එවුන් වගේ නෙවේ අපි. එක වතාවක් යුද්දේ සැරටම යද්දි මං හිටියේ ඉස්සරහින්ම. ජීවිතේ ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නෑ..

ඔහු ඔහුගේ යුධ හමුදා නිළ හැඳුනුම්පතයි, අත පය වල වෙච්ච තුවාලයි පෙන්නන ගමන් කිව්වා

ඉතින් ඇයි අයිය මේ ටිකට් විකුණ විකුණ යන්නේ... ඩියෝ අහුවා.

අපිව එක එකාගේ පක්කලිකම් කරන්න දාල තියෙන්නේ මල්ලි. මොනවා කරන්නද? ඒකාලේ ඉගෙන ගත්ත නම් උඹලා වගේ ජැණ්ඩි සූට් ගහල ඉන්නවා...

මං මගේ බෑග් එකෙන් රුපියල් දෙසීයක් අරන් ඔහුට දුන්නා. ඔහු ඉතිරි සල්ලි දුන්නෙත් නෑ, අපි ඉල්ලූවෙත් නෑ. ඔහු ඊළ බංකුව ලට ගියා. අපි දෙන්නා මූණට මූණ බලා ගත්තා.

ඉදිරි ආරක්‍ෂක වළල්ලේ වීරයන් වුණ එවන් බොහෝ සොල්දාදුවන්, දේශපාලනඥයින්ගේ දාසයන් බවට පත් කිරීම ඒ වීරත්වය කෙලෙසන කාරණයක්. ඒ හිත හොඳ සෙබළාගේ කතාව නිසාවෙන් මගේ හිතේ අමුතුම කනස්සල්ලක් ගොඩ නැගෙන්න වුණා.



ගෝල්ෆේස් හි රාත‍්‍රියක්

ගාලූ මුවදොර පිටිය වෙනදාට වඩා කාර්ය බහුල වෙච්ච රාත‍්‍රියක අපි දෙන්නා පුංචි බංකුවක් මත්තේ ඉඳගෙන එක එක පසින් ගලනා ආලෝකයේ ගොදුරක් වෙමින් කාලය ගෙව්වා. රාත‍්‍රී දහය පහුවෙද්දි, වරාය දිහෑ හිටන් ගාලූ මුවදොර හෝටලේ දිහාවට එල්ල කරපු සැර ලයිට් එළියේ සුදු පාට ඩියෝගේ මුහුණට වැටිලා. ඔහුගේ කරේ එල්ලෙන කුරුසියේ රිදී පැහැය දිලිසෙනවා. වරින් වර හිමන් යදින හිඟන්නන් සාමාන්‍ය කාරණාවක් බවට පත් වුණාම, ඒක ඇටවත් හිතටවත් දැනෙන්නේ නෑ.

අලූත් ආර්ට් එකක් හිතට ආවා.... ඒක කරන්න  ඕන. බොහෝ දීර්ඝ කල්පනා වටයකින් පස්සේ ඩියෝ කිව්වා.

නියමයිනේ ..... මොකක්ද අයිඩියා එක?

මගේ ආදරය, ලිංගිකත්වය, තාරුණ්‍යය හා දේශපාලනය...

ඔය හැම එකම එකකට එකක් සම්බන්ධයිනේ...

ඒකත් එහෙම තමයි... ඒත් ඒක ඇතුළේ තියෙන ගැහැට තමා කතා කරන්න  ඕන....


රාත‍්‍රියේ අඳුර වැඩෙන්න වැඩෙන්න අපි අතර ඇති වුණ දෙබස් වල පවා යම් අඳුරක් මැවෙන්න ගත්තා. ඉතින් තවත් රස්තියාදු නොවී අපි දෙන්නම බයිසිකලේ නවත්තපු තැනට ඇවිද්දේ මුහුදෙන හමන සුළ`ගන් තරමට සැහැල්ලූවෙන්. මට දැනුන ඒ ගෙවුණ රාත‍්‍රියේ අඩක් මා අඳුරේ දියව ගියා වගේ ගතියක්.



ටැටූ වැදුන බෙන්ස්


වසර ගණනනාවකට කලින් තිබුණා වගේ නෙවේදැන් දැන් කොළඹ නගරාසන්නයේ ඉදිව ඇති අහස සිඹිනා තට්ටු නිවාස වල ආලෝකය පේන්නේ අහසින් පොළොවට වැටෙන තාරකා වගේ. කළුම කළු පසුබිමට තරු වැටුනා වගේ පෙනෙන මේ රාත‍්‍රී ආලෝකය අතරේ අපේ යතුරුපැදිය ඉදිරියට ඇදෙද්දී මුළු ගතම සසල කරන සීතලක් හාත්පස කැළඹුවා. කොල්ලූපිටිය පහු කරලා මහජන පුස්තකාලය ඉදිරියෙන් ඇවිත් විහාරමහා දේවී උද්‍යානය ආසන්නයෙන් යන මොහොතේ දෙපස නිහඬව නැඟී ගත් මහා ගස් පෙළ පොඞ්ඩක් නැමිලා මගේ මුහුණ බැලූවා. හිතට නැඟුන සැහැල්ලූව විඳගන්නත් එක්ක මං මගේ දෑත් දෙපසට විහිදලා මුහුණට වැදෙන සුන්දර සුළ විඳගත්තා. රාත‍්‍රියේ දිළෙන නියෝන් විදුලි එළි අස්සෙන් පාර පුරාම යතුරු පැදිය එහා මෙහා අයාලේ යවමින් ඩියෝ මට සහය දුන්නා.

පිටි පස්සෙන් ආව මොටර් රථයක හඬ නිසා අපි පාරෙන් පොඞ්ඩක් පැත්තකට වුණා. ඒක ආඩම්බරකාර බෙන්ස් රථයක්. රිය ඇතුළේ හිටියේ බොහෝම කඩවසම් තරුණයෙක්. ඔහුගේ දෑතේමඋරහිස් වල සිට වැලමිට තෙක් - තිබුණ ටැටූ හොඳින්ම දැක්කේ මම. ඒවා ලස්සනයි. ඒත් මං කවදාවත් ‘‘ටැටූ ගහපු බෙන්ස් හිමියෙක්’’ දැකලම තිබුණේ නෑ. ඊටත් අපි දන්න කාලේ ඉඳලම බෙන්ස් කාර් පැද්දේ වෙනම ක්ලාස් එකක පිරිසක් විතරයි. සමහරවිට මේ ඒ පරම්පරාවෙන් පිට පැනපු පුරුකක් වෙන්නැති. කිහිළි අස්සේ හිරවුණ ඔහුගේ ටී ෂර්ට් එකෙන් පිටතට පැනගත්ත ටැටූ එකේ මෝස්තරය මගේ ඇස්වලින් බැහැර වුණේ නෑ. අපි සමාන්තර වෙද්දී ඔහු සිය වමත ඔසවලා මා දිහාවට සන් කරමින්, ‘‘සුපර්බ්’’ කියා කීවේ රිය කවුළුව විවර කරමින්. සමහරවිට ඔහු තමන්ට අහිමි වුණ මොටර් සයිකල් සවාරියෙන් දුක්වෙනවා වෙන්න ඇති. අපි දෙන්නම ඔහුට අත ඔසවා කෘතඥතාවය පළ කලා. මොහොතින් ඔහු වේගයෙන් ඉදිරියට ඇදී හොර්ටන් ප්ලේස් හි බැරිස්ටා සමාජ ශාලාවට රථය හැරෙව්වා. කොළඹ හතේ මිනිසුන්ගේ ජීවන රාටව පවා වෙනස් කර ඇති ආර්ථික පසුබිම දෙස විපරමින් බැලීමේ අවශ්‍යතාවයක් මට ඇති වුණා.

‘‘දැන් බෙනස් වැහි වැහැලා නේ...’’ ඩියෝ කිව්වේ කෑ ගහලා වගේ.

‘‘අපි බෙන්ස් එකක් ගත්තොත් මොකද කරන්නේ දන්නවද?’’ මං ඇහුවා

‘‘නෑ...’’

‘‘දෙහි ගෙඩි තුනකුයිමිරිස් කරළකුයි එල්ලගෙන කතරගම ගිහින් භාර වෙලා එනිං ගමන් ආප්ප කඬේකින් ආප්පත් කනවා...’’ මං කිව්වේ ඩියෝගේ උරහිස් මත දෑත් තබා ගනිමින්.

ඩියෝ හිනැහුන බව මං දැක්කේ පැති කණ්නාඩියෙන්. ඔහු ඒක තේරුම් ගන්න ඇති. අපි දන්න දවසේ ඉඳලා අපේ දෙමව්පියන් අපේ සමාජය අපේ වටේ ඉන්න අප අපෙන් බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ වගේ බෙන්ස් කාර් සහිත පසුබිමකට නැඟීමක්. ඒ වගේම ඒ අය අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපි ඒ බෙන්ස් එකෙන් ගිහින් කතරගම වැඳපුදාගෙන අර පැරණි මිත්‍යාමත හිසේ තබාගත් ගමනක් ඇරඹීමත් තමා.


දියවන්නවා පහු කරමින් මාව මගේ නවාතැනට දාපු ඩියෝ නැවතත් බයිසිකලේ නැගලා ඉගිලූනා.



නැඩ්ස්
2015.04.02