Tuesday, April 22, 2014

හිමිකරු අහිමි පියසටහන්















මහද
නිකැළැල් සුමුදු වැල්ලෙහි මතුපිට
හිමිකරු අහිමි
බොහෝ පියසටහන්
ශේෂ වී ඇත.......
වැල්ලටම කිදා බැස.....

Tuesday, April 8, 2014

අපි දෙන්නා







සියුම් සුසිනිදු වැලි දුලන
කිරි සුදු වෙරළ‘තැති
නුඹ 
ගැඹුරු සයුරකි.....
නිසල, නොයෙක කලබල රහිත....
එනමුත් නිතොර
රැළි නගන........


පතුල් මඩ කළල්
කුඩ මසුද කළඹවන....
හදිසියෙන් මෙන් ගලන..
මම 
ගගකි
නුඹ සොයා නොසන්සුන් ගමනින් එන....

ආතුරය මගේ සිත  - සෙනෙහසින්....

නුඹ කෙරේ අලුත් වන
නුරා දිය ඇලි පවා උපදවන...
අනෙක පැතුමන් මවා වෙහෙසවන...

දෑල ඉවුරත පවා නොතකන
ඉසිඹුවක් නොලබාම පැමිණෙන


මම 
ගගකි
නොසන්සුන් ගමනින් යන....


නුඹ 
ගැඹුරු සයුරකි.....
නොයෙක කලබල රහිත....

Thursday, April 3, 2014

කේන්දරේ

 
        වැලිගම වෙරළේ කෙළවරකින් සැඳෑ හිරුබැස යන නිමේෂයක මගේ හදවත තදින් බැඳතබා වැළඳ ගන්නා ආදරණිය වේදනාවකින් මම තෝන්තුවා වී සිටියෙමි. ඉන්දියන් සාගරය දෙසට තම මුහුණ හරවාගෙන මුහුදු වෙරළට මීටර් දෙක තුනකට ඔබ්බෙන් පිහිටි වැලිගම කැරකෝප්පුවේ, එහි ලියා තිබූ පරිදි මියගිය ආදරණිය මිනිසා වෙනුවෙන් වසර ගණනකට ඉහත දී ඉදි කළ සොහොන් කොතේ, බැම්ම මත හිඳගෙන, රන් වනින් ගිලිහි යන මළ හිරුගෙ අවසාන අවු රැුල්ල මතකයෙන් ගිලිහී යා නොදී දෙඇස් මත චිත‍්‍රණය කර ගනිමිනි මා උන්නේ.  අලුත් පාර දිගේ කොළඹ දෙසට දිව යන වේගවත් රිය පෙළ ද, පරණ පාර ඔස්සේ මාතර බලා විටින් විට ඇදී යන රථ පෙළද මගේ සිතිවිලි දාමයට, සිතිවිලි ජාලයට හිරිහැර කරයි.  වැල්ලේ පේළියට ලැගුම් ගෙන විඩා නිවනා කුඩා බෝට්ටු පසුකරගෙන ගොසින්, ඈත ගැඹුරු දියඹේ ගිලෙන්නට යන හිරුගේ විප‍්‍රයෝගික දෑස වේදනාවෙන් රත්පැහැ ගැන්වී  තිබුණි.  ඒ මොහොතේ මීට වසර විසිපහකට තිහකට එපිට අතීතයේ සිට දකුණු දිග වෙරළ ඔස්සේ ගලාගෙන පැමිණි මතක සුසුවඳක ලවණ රසයකින් මා දෙතොළ තෙත් විය.  දෙවනුව ඒ ලවණ රසය පරයා නැගී ආවේ, මාළු වාඩිය දෙසින් ආ පිළී ගඳකි.  නමුදු ඒ පිළීගඳ මැඬගෙන සැඳෑ අවුරැුල්ලේ රශ්මිය නිසාවෙන් මගේ උණුසුම් තළෙළු, හමට යටින් වූ හෘදය මාංශය ව්‍යාකූල වෙමින් පැවැතිණ.  

Tuesday, March 11, 2014

Poem By Traveller

අධිතක්සේරුවේ ආදරණීය කවිය


අද හෙට දවසක
පාළුව මකන්නම
හිතාගෙන තුන් හිතින්ම
මං ඇවිත් යන්නං
වැව රවුමෙ හවසක ඇවිදින්ට
නුඹ එක්ක..................

ඇහැල මල් වලට
නුඹට තරමටම
නොදැනුනත් මං නැති අරුම
මල් නැත්තෙ තාම
මං නැති නිසයි
දැක දැක ඉන්න තිස්සෙම‍.........

කෑළ ගස් වලත් - පිච්ච මල් වැලෙත්
පහුගිය දෙමාසෙම
මල් පිපි පිපී
ගං දියට නොවැටුණේ
‘‘මං නැති සොවින්
මල් වරපු නිසා‘‘ යැයි
මහවැලිය කියලා තිබුණා
මුහුදෙ දි හමුවෙලා
 කැළණි ගං දිය බිදකට..........

ඉර වුණත් ඩිංගක් සැරවුණේ
මගේ මූණ ඉම්බෙ නැති අඩුවටලු
මට කිවුවෙ කුරුළු ජෝඩුවක්
කොළඹ බලලා යන්ට ආ ගමන් ........

එන්නං.............. එන්නං.................. ඉක්මනින් එන්නං.............
හිතේ පොපියන පැතුම්
ඔක්කොම දන්නවා මං
එනකල් ඉන්න
ඔය ඇස් දල්වගෙන
විජහිං එන්නං මං..............