Tuesday, May 19, 2015

කොළඹ අහස යට 3


උසාවිය අභිමුව හමුවුණ අතීතය

අලූත්කඬේ උසාවිය යනු දෛනිකව සුවිශාල පිරිසක් ගැවසෙන එමෙන්ම සුවිශාල පිරිසක් සිය නීතීඥ සේවා ලබා ගැනීමට පැමිණෙන ස්ථානයකි. අලූත්කඬේ පිහිටි නීති විද්‍යාලයේ පැවැත්වුණ මානව සම්පත් කළමණාකරණය හා නීතිය පිළිබඳ දේශනයකට සහභාගි වූ මම නැවත පැමිණෙමින් සිටි අතර ඉක්මනින්ම කාර්යාලයට පැමිණීමේ අදහසින් පළමුව පැමිණි බසයට නැ ගතිමි. මා බසයට ගොඩවනවාත් සමම දුවවිත් අයෙක් බසයට නැංඟේය. බසයේ පසුපසම අසුනේ මා හිඳගත් පසු ඔහුද මා ආසන්නයේම මගේ ඇටම බරවී හිඳගත්තේ මා කෝප ගන්වන ආකාරයෙනි. ‘‘මේ නොසන්ඩාල මිනිසා කවුරුන්දැයි’’ යන අදහසින් මම ඔහු දෙස හැරී බැලූවෙමි.

සුනා..... මගේ හදවත නන්නාඳුනන ප‍්‍රීතියකින්ද, විශ්මයකින්ද පිරෙන්නට විය.

ඉතින්...     ඒ සුනා ය.

‘‘සුනා’’ නැතිනම් ‘‘සුනන්ද දහම්ප‍්‍රිය’’ මගේ දිවියේ ගෙවී ගිය එක්තරා සුන්දර යුගයක මිහිරි මතකයන් ගොන්නක් තිළිණ කල ඉපැරණි මිතුරෙකි. එකල අපි විවෘත විශ්ව විද්‍යාලයේ නීති සිසුන් වි සිටි සමයේ නිරන්තරයේ අධ්‍යයන කටයුතු පිණිස ගිය මහජන පුස්තකාල පරිශ‍්‍රයේ අපේ මතකයන් ගොනු ගැසී ඇති තැන තවමත් සිත මන්මත් කරවයි.

සෙට් එකේ සිටි දඩබ්බරම සිසුවා - සුනා ය. විනෝදකාමීම සිසුවා - සුනා ය. ජව සම්පන්නම සිසුවා - සුනා ය. දකාරම සිසුවා - සුනා ය. රෙඩිකල්ම සිසුවා - සුනා ය. හැමෝගේම මිතුරා - සුනා ය. බොහෝ ඇසූ පිරි තැන් ඇති පොර වූයේ ද සුනා ය. සියල්ලන් අතරේ පිස්සුම පිස්සු වැඩ කලේ - සුනා ය. එහෙත් සියළුම සිසුන් අතරේ වැඩිම දක්‍ෂකමක් තිබුණේ ද- සුනාට ය. ඒතරම් කඩවසම් කමෙක් නැතද මට දැනෙන්නේ ඔහු දකාර චරිතය රපෑ හින්දි සිනමාවේ නළුවකු ලෙසය.

කැන්ටිමෙන් ගත් සිය තේ කෝප්පය අපෙන් බේරා ගැනීමට ඔහු ඊට හැක්ස් ටොපියක් දැමූ අවස්ථා එමටය. එවිට ඔහුගේ තේ කෝප්පයට කිසිදු ඉල්ලූමක් අපෙන් නොලැබේ. මහජන පුස්තකාලය ඉදිරියෙන් පාර මාරු වූ අතීතයේ දින ගණනාවක ඔහු අංගවිකල රෝගියෙකු ලෙස රපාමින් බොහෝ අමාරුවෙන් ඇවිදගියේ පාරේ ගමන් ගන්නා සුවිසල් රථ පෙළ මොහොතක් ඔහු වෙනුවෙන් පමා කරවමිනි. එපමණකින් නොනැවතෙන ඔහු පාර දෙකට බෙදනා වේදිකාව මතට විත් තමා වෙනුවෙන් නැවතී සිටි රථ හිමියාට ඇසක් ඉඟිකර අනෙක් පසට මාරු වුයේ එතෙක් සිටි අංගවිකල ස්වරූපයෙන් මිදෙමිනි. එවන් බොහෝ විටක රථ හිමියෙකුගෙන් නොමසුරුව ලැබෙනා අසැබි වදනකින් ඔහු කුල්මත් වෙයි. ‘‘උඹේ ඔය ජරා වැඬේ නවත්තපන් බං’’ යැයි මිතුරෙක් කී විට ඔහු දෑස් වපර කොට සියල්ල සාවධානයෙන් අසා සිටී.

සුනා නීති විද්‍යාල ප‍්‍රවේශය සමත්වී ඉක්මනින්ම නීතීඥයෙකු වූ නමුත් මම නීතීඥ සිහිනයෙන් මිදී වෙනත් ගමනක් ඇරඹුවෙමි. ඒ යුගය නිමවා ගෙවී ගිය කාලය පුරා බොහෝ විට අපි හමු වී ඇත්තේ ඉතා සීමිත අවස්ථා ගණනකදී පමණි. ඒ සෑම විටකම ඔහු පෙර සිටි සොඳුරු සුහුඹුල් තරුණයා වී මා විශ්මයටත් අප‍්‍රමාණ සතුටටත් ඇද දැම්මේ දෙවරක් නොසිතාම ය. ඒ අතීතයෙන් පසු කිහිප විටක් අප එකිනෙකා හමුවී ඇතද මේ නැවත ඔහු හමුවූයේ වසර දෙකකට අධික කාලයකට පසුව ය.

ඉතින්......

ඉන්නවා ඔහේ බන්.... ඔහේ මක්කයි මෙහේ ආවේ?... ඒ සුනා ය. මගේ ‘‘දකුණේ සම්භවය’’ මතක් කර දීම ඔහු අමතක නොකළේය.

වෙන මක්කටෙයි ඉතින් ඔපීසියේ වැඩකට තමා... මම ද ඔහුගේ ‘‘දකුණේ උරුව’’ට අනුව කතා කළෙමි.

ඔහේල ඉතින් අපි ගැන හොයා බලන්නේවත් නැහැ නෙව....

ඔහේලත් ඉතින් අපි ගැන හොයන්නේ නැහැනේ...

මට නම් ඉතින් හොයල බලන්ඩ තරම් දුරක උඹ නැහැ.... ඉන්නෙ ලපාතමයි.. මගේ හිතේමයි...

අනේ යන්න සුනා ෆිල්ම් වල දෙබස් කියන්නැතුව....

ෆිල්ම් දෙබස්.... කාලයක් තිබුණා ඔයා ඔය මගේ ෆිල්ම් දෙබස් අහන්ඩ මැරීගෙන හිටිය...
මොකක්... මේ මම ඔයාගේ දෙබස් අහන්න මැරීගෙන හිටියා...

ඔහුගේ ද`ගකාරකමේ මුල් ස්වරූපය අදටත් නොවෙනස්ව පවතී. ඔහුගේ කතා රසවත්ය. විනෝදකාමීය. අහඹු හමුවකදී වුව මුව සිනහ නංවයි. සිත පුරවයි. අතීතය බවට පත්වූ මතකයන් රාශියක් හදවත පුබුදුවන්නට විය. ඔහු එනතුරු ම`ග බලා සිටි අතීතයක්, ඔහු වෙනුවෙන් සකසා ගෙනා බත් පතක්, ඔහු වෙනුවෙන් මිලදී ගත් ඉතා ලාභදායි ඇඳුමක් තෑගි කල අතීතයක්.
               
පබ් එකට යමු ? ඒ ඔහුගේ හඬ. අවසර ගැනීමක්වත් නැතිව කෙලින්ම යෝජනා විතරයි.

ඔෆිස් යන්න පරක්කු වෙනවා....

මටත් එතනට වෙලා දවසම ගෙවන්ඩ බෑ.. ක්ලයන්ට්ස්ල එනවා හවසට... මෙන්න මෙහෙ එනවා යන්ඩ.


සුනා, 138 මහරගම බස් රථයකට බලෙන්ම මා නංවාගත්තේ ‘‘යං නෝනා යං - ළමයි ගෙදරට වෙලා අඬ අඬ ඇත්තේ’’. කියමින් කොන්දොස්තර දෙස බලා ඔහු තුළ අප දෙදෙනා කුහුළක් උපදවමිනි. ඔහුගේ පෙර පුරුදු තවමත් නැවති නැත. මිනිසුන්ට කතා කරන්නට හෝ හිතන්නට මාතෘකා දහසක් ඇති කිරිමට තරම් ඔහු තවමත් සෙල්ලක්කාර ය.


ඉපැරණි මතකයක නටඹුන්
අප මහරගම බස් රථයෙන් බැහැල පුස්තකාල පරිශ‍්‍රයට ඇතුළු වූයේ ගිනි මද්දහනේ ඉහින් කනින් දහදිය වැගිරෙද්දී. සුනාවත් මමවත් මේ අහඹු පැමිණීමෙන් අපමණ සතුටකට පත් වුණේවත් දුක් සෝතැවුලට පත්වුණේවත් නෑ. අපි දෙදෙනාම ඔහේ ඉබාගාතේ ඇවිදින දෙන්නෙක් වගේ ඇවිද ඇවිද පුස්තකාලයේ අතිතයේ ගෙවූ කාලයත් වර්තමාන දිවියේ ඇති අසීමිත වගකීම් සම්භාරයත් පිළිබඳව සෑහෙන අත්දැකීම් ටිකක් බෙදාගත්තා. අපි කොතරම් දුරස් වෙලා වුණත් නොබිඳෙනා බැම්මක් අපි අතරේ තියෙන බව සුනා මට නිතර නිතර මතක් කලා. එදා වගේම අදත් මහජන පුස්තකාලයේ නිදහසේ එහෙ මෙහෙ හැසිරෙන, අධ්‍යාපනයේ නියුතු වන, තරුණ තරුණියන් අපි වගේම කැම වෙලාවෙදී කල්ලි සෑදී ගත් නොයෙක් සුහදශීලී මිතුරු කණ්ඩායම්ද අවට තැන් තැන් වල හැසිරෙනු දැක්කම විතරක් මගේ හිත ටිකක් සසල වුණා වගේ දැනුනා. 

පුස්තකාල ආපන ශාලාවේ අපිළිවෙල අපිරිසිදු මේසයක වටේ තැබූ පුටු වල ඉඳ ගත්ත අප දෙන්නා සුපුරුදු පරිදි කැන්ටිමේ ‘‘තේ අයියාගේ  - තේ යාර දෙකක් සහ ගොටු පිට්ටු දෙකකට’’ වග කිව්වා. පුස්තකාලය දිහා බලාගෙන දවස ගෙවන සුවිසල් ගස් යට සෙවනේ ගෙවූ නිස්කලංක මොහොතකින් පස්සේ අපි දෙන්නා සමුගත්තේ නැවත කවදාදැයි නොදන්නා මෙවන් දිනයක හමුවීමේ පොරොන්දුවෙන්. සුනා එයාගේ අතේ තිබුණ කළු කෝට් එක ගුලි කරගෙන පුස්තකාලේ ඉස්සරහින් ටැක්සියකට නැංගේ ‘‘ඉක්මනට යන්න  ඕන’’ කියලා කියන ගමන්. ඒ විදියට අපි වෙන්වුණේ ඒ අතීත ඉපැරණි මතකයන් ගොන්නට, හදිසි මුණ ගැසීමක මතකයකුත් එක් කරමින්. 



නැඩ්ස්
2015.04.25

No comments:

Post a Comment