Friday, November 14, 2014

කැපෙනවා, බදිනවා,දැවෙනවා, හඩනවා....




සුදු නංගි මෙහෙ වරෙන්
ගනිං මේ පොඩි කැත්ත
යමං දැන් වන රොදට
දර ටිකක් පාහින්ට.....
අද රෑට පාන් කා තේ බොන්න............


පොඩි කැත්ත කැපෙනවා
කපනවා... කපනවා...

දර අකුල් එකතු කර 
අයිය මිටි බදිනවා
බදිනවා... බදිනවා...


දර නොවේ... ජීවිතය
මිටි පිටින් බදිනවා

කාසියට මාරුවී 
දර ලිපට වැටෙනවා
දැවෙනවා.... දැවෙනවා...


දර නොවේ ජීවිතය
වැටී වැටී දැවෙනවා....

බුර බුරා නැගි අග්නි ජාලා
අපට සැර පානවා
කදුලු බිම වැටෙනවා
හඩනවා... හඩනවා...



ගාමිණී ජයවර්ධන


Thursday, September 18, 2014

සම්මතයට යටවූ අසම්මතයේ වේදනාව






බස් එකක යන ගමන්
කෝච්චියෙත් යන්න බැරි බව
දැන දැනම
කෝච්චි ටිකට් එක සාක්කුවෙ දාගෙන
බස්එක වටේ කැරකෙන මාව
ඔයාට පේන්නෙ කොහොමද කියල
මම හරියටම දන්නෙ නෑ.......
ඒත් ඔයා බස් එකට ටිකට් අරගෙන ඉවර බව,
ඔයාගෙ ගමන් මළු සේරම
රැක් එකට දාල ගැට ගහලත් ඉවර බව,
මම දන්නවා...........
එහෙම දැන දැනත්
මෙහෙම කියනවට අමනාප වෙන්න එපා.
අපි මෙහෙම කරමු.....
ඔයා බස් එකේ යන ගමන්
කාටවත් නොපෙනෙන්න
කෝච්චියෙ යන මට අත වනන්න.....
මගේ ගමන් මළුත් එක්ක
බස් එකට සමාන්තරව කෝච්චියේ යන ගමන්
මමත් අත වනන්නම්.....
අඩුගානෙ එහෙමවත් කරන්න....
මොකද ..... අපි දෙන්නම
එකම හෝල්ට්එකේ කාලයක් එකට හිටි නිසා....
මට දරාගන්න බැරි
කෝච්චි පාරයි බස් පාරයි
එක ළගින් සමාන්තරව යන පුංචි වෙලාවෙත්
දැන් වගෙම ඔයා
අහක බලාගෙන හිටියොතින් තමයි.......
එහෙම කරන්න එපා.
ඔය පාරවල් දෙක ළං වෙලා තියෙන්නෙ
පොඩිම පොඩි දුරක් විතරමයි,
මුළු ගමනටම.....


කපිල

Thursday, September 11, 2014

හැබෑ කොක්ටේල් සාදයක්..









ඉන්දීය සංගීතයට
සිංහල කකුල් කලඑළි බහින...
ඊයේ දුව පැනපු කුකුලන්
නිකම් නොව පිච්චිලා ම මේසයට ගොඩවැදුන...
අඹරලා හප කර කර
කට ඇඹුල් කරමින් අමාරුවෙන් මත්වෙන....
ලගින් යන පුන් ළමැද
නිතඹ, වටොර දෙස බලා හූල්ලන....
බඩගින්නට කන්න දෙයක් නැති
සාඩම්බර උත්සවය...





නීතීඥ කපිල ගමගේ


Tuesday, September 2, 2014

බලාපොරොත්තුවක්







වැස්ස එව්වෙ ඔබම නේද - ඔබේ අගේ මට දැනෙන්න
සීත එව්වෙ ඔබම නේද - ඔබ නැති පාළුව දැනෙන්න
විජ්ජුලතා යහළුවන්ද - ඔච්චම්කර සිනාසෙන්න
සුළග එව්වමුත් නොහැකිය - ඇරයුම් නැති ගමන් එන්න....



වැසි බිදක් බිදක් ගානේ
ගහ කොලෙහි ගැටී - මහ පොළොවෙ හැපී
වගුරන්නෙ මගෙම කදුළු
සිසිලසක් වගේ දැවටී
හී ගඩුද පිපී - සීතලට දැපී
මැලවෙන්නෙ සිනා කැකුළු......


විදුලියක් දිලෙන ගානේ
මහ හඩ දිදී - ගිනි අතු විහිදී
ඇවිලෙන්නෙ දුකයි ඉතිනී
ඔබ සුළග වගේ ඇවිදින්
අපි යමුය කියා - බදවට පටලා
සිපගන්න තුරා හිදිමී


නීතීඥ    කපිල ගමගේ 

Sunday, June 22, 2014

මේ මගේ හිත....








දසත ගුම් දී හමන
චණ්ඩ මාරුතේ වුව නොසැලෙන
ඉන්ද්‍රඛීලයකැයි නුඹ සිතුවාට....
මගේ සිත
සියුම් ළ‘දල්ලකි
මද සුළගිනුදු ස‘සැලෙන .......

තෙදැති මත් ඇතුන් වුව බැද තබන
යදම් වැලකැයි නුඹ සිතුවාට...
මගේ සිත
මකුණු දැළ් හුයක් මෙන් දුහුළැල්ය
ඇගිලි සරකින් පවා විසුණු වන .......

විසල් වනපෙත් මුදුන් පරයා
එසැවී හිරුට හිනැහෙන
වනස්පතියකැයි නුඹ සිතුවාට...
මගේ සිත
පුංචි තුත්තිරියා ගසකි
කිසිවෙකුගෙ නෙත නැවත නොගැටෙන....

විටක කළඹා ඉවුරු සසලවන
නෙක ගම් දනවු මැදින් ගලා යන
නදියකැයි නුඹ සිතා වුන්නාට...
මගේ සිත
ඉසියුම් පිනි බිදකි
සළකුණක් හෝ නැතිව
හිරු රැසින් වුව වියැකෙන