Tuesday, May 19, 2015

කොළඹ අහස යට - ස්ත‍්‍රී සිතක්


පෙනෙන -  නොපෙනෙන යාළුවෝ....


හැන්දෑවේ කොළඹ අහස පාට කීපයකින් පිරිලා. ලා නිල්පාට, දුඹුරුපාටේ විවිධ ස්ථාවරයන්, රතුපාට, සුදුපාට, එක එක ටිකෙන් ටික මුහුවෙලා. අන්තිමට ලැබිල තියෙන වර්ණවත් අහස එහෙම පිටින්ම හරිම පිළිවෙල චිත‍්‍රයක් වගේ. මං ඔරලෝසුවේ වෙලාව බලන ගමන්ම ඒකට පොඩි තට්ටුවකුත් දැම්මා. ඒ මොහොතේ මං හිටියේ කොලොන්නාවේ පොදු සුසාන භූමියේ ස්ථීරෙටම නිදා ඉන්න ඔක්කොම පිරිස මං දිහෑ බලං ඉන්නව වගේ අපහසුවකින්. ගෙවුණ විනාඩි ව්ස්සට කොලොන්නාව පැත්තේ ඉඳලා දෙමටගොඩ දිහාවට යන මෝටර් සයිකල් හැම එකම වගේ මගේ ඇස් වලින් බේරුණේ නෑ.

අන්තිමේ විනාඩි ව්ස්සකට පස්සේ නෑ හරියටම විනාඩි විසි තුනකට පස්සේ හාලි ඬේවිඞ්සන් ආකෘතියට නිශ්පාදිත සුසුකී මෝටර් සයිකලේ, ඔළුවෙන් හරි අඩක් වැහෙන්න පැළඳගත්ත පොල් බෑය වගේ හෙල්මට් එකයි, අතේ එල්ලගත්ත තවත් එවැනිම හෙල්මට් එකකකුත් එක්ක ‘‘ඩියෝ’’ නැත්නම් ‘‘ඉස්තරම් රැවුළ් කාරයා’’ මගේ ඇස් මානයේ දර්ශනය වුණා. කළුපාට ටී ෂර්ට් එකට ඇඳපු දුඹුරු පාට ලෙදර් ජැකට් එකයි නිල් ඩෙනිම් කලිසමයි, ටෙනිෂූස් දෙකයි කදිම ගැලපීම. ඒ ඔක්කොටොම වැඩියෙන් හිත ගත්තේ පුංචි වූල් බෑන්ඞ් එකකට හිර වුණ දිගු කෙස් වැටියයි, මූණ වසාගත්ත මුරණ්ඩු රැුවුළයි.

මං මගේ දෙපය වසා ගත්ත රබර් සෙරෙප්පු දෙක දිහෑ බැලූවේ හිසට හෙල්මට්ටුව පළඳින ගමන්. මං හිටියේ කිසිම පිළිවෙළක් නැතිව. අඩුම තරෙමේ නියපොතු ටිකවත් පාට කරගත්තේ නෑ කියල මතක් වුණේ දැන්.

‘‘ප‍්‍රීතියෙන්ද හිටියේ - මං පරක්කු වෙනකොට?’’
‘‘නෑ යාළුවො ටිකක් මුණුගැහුණ, ශේප් ඉතින්...’’ මං බයිසිකලේට නැංගා
‘‘කවුද යාළුවෝ?... ’’
කනත්තට අත දිගු කරල පෙන්නපු මං - ‘‘යං’’ කිව්වම සයිකල් එන්ජිම ගෝරනාඩු කරන්න ගත්තා. මගේ හිත ඒ තේජවන්ත ගෝරනාඩුවෙන් ඉපිලූනා.
‘‘අපිට පේන යාළුවෝ වගේම නොපෙනෙන යාළුවෝ ටිකකුත් ඉන්නවා. උදව් කරන අය වගේම උදව් නොකරන අය. අපේ පැවැත්ම අනුව තමා ඒ අය අඩු වැඩි වෙන විදිය තීරණේ වෙන්නේ... ’’
‘‘අන්න හරි’’

ඩියෝ කිව්වේ තේරුම් අරගෙනද නැද්ද කියලා හිතන්න මං වෙහෙසුනේ නෑ... ඉස්තරම් රැවුල්කාර ජැණ්ඩි කොල්ලෙක්ගේ උරහිස් වල එල්ලිලා, මුළු ලෝකයම නැවත හැරිලා බලන විදියේ යතුරුපැදියක පිටිපසින් වාඩි වෙලා, සුළං පහසයි - හැන්දෑවේ වර්ණයයි විඳන්න රටේ ඉන්න අනික් හැම කෙල්ලටම අවස්ථාව ලැබෙන්නේ නෑ කියලා විතරක් හිතන්න මං වෙහෙසුනා. මගේ හිත පිහාටුවකටත් වඩා සැහැල්ලූ වෙලා සුළෙඟේ පාවෙනවා වගේ දැනෙන්න ගත්තා. මුළු ගමන පුරාම මගේ මුහුණේ තිබුණේ නොවියැකුණ සිනාවක්. ඒක හැන්දෑවටත් වඩා දිස්නේ දුන්නා.


පශ්චාත් නූතන වාදී පෙම්වතා සහ සාහිත්‍ය හමුව..

අපි ගෝල්ෆේස් එද්දී, දවසේ රාජකාරි වලින් හෙම්බත් වෙච්ච ඉර කුමාරි මුහුදු වාටියෙන් එපිටට පැනලා නිදාගන්න යන ගමන්. හිස් බංකුවක් වෙනුවෙන් හිටගෙන ඉන්න වෙලාව -  වඬේ කඩයක් ල ගෙවන්න අපි තීරණය කලා. දවසේ කීප වාරයක් නැවත නැවත බදිනු ලැබීමෙන් කුඩා ඉස්සන් සහිත වඬේ එක කරවෙලා තිබුණ. උඩට ළුෑණු කෑලි ටිකකුයි, සෝස් හා මිරිස් හා ලූණු මුහු කල පේස්ට් එකයි දාපු තරුණ මුදලාලි මහත්තයා  - එකක් පනහයි කිව්වේ බුලත් කහට බැඳුන දත් ටිකක විලිස්සලා. කෝක් බෝතලේටයි, සිගරට් දෙකටයි, වඬේ ටිකටයි සල්ලි ආවේ ලෙදර් ජැකට් එක අස්සෙන්.

‘‘පෙම්වතාට රපෝර්තු කරලද ආවේ?’’
‘‘ඔවු...’’
‘‘හා කිව්වද?’’
‘‘ඔවු....’’

දිගු නිහැඬියාවක් ඇතිවුණා. මුහුදේ හෝ හඬයි - පාරේ වාහන හඬයි ඇරෙන්න ළමා ළපටි කෑගැහීමක් වත් නැති මොහොතක්. බංකුවක ඉඳගෙන අහස බැලූවම, අහසේ හිස්තැන් ගොඩක් අතරින් පුංචි පුංචි තරු කැට එළියට බැහැලා. වරායේ අලූතෙන් මුහුද ගොඩ කරමින් ඉදිවෙන දැවැන්ත ඉදිකිරීම් යන්ත‍්‍රවල හිස්ගෙඩි තිබුණේ ඒ තරු දිහාවට එල්ල වෙලා.  අපිව පහුකරගෙන දෙපැත්තට ඇදෙන විවිධ විවිධ මිනිස්සු දිහා මං බලන් හිටියට, හිත තිබුණේ පෙම්වතා ගැන ඩියෝ අහපු ප‍්‍රශ්නේ ඇතුළෙයි. මං ඔහු ගැන කල්පනා කලා. ඔහුගේ ස්ථරය ගැන කල්පනා කලා. ඒ ස්ථරය කවදාවත් මං නියෝජනය නොකල නිසා, මට ඒක ගැන දැනීමක් නෑ. ඒ නිසාම ඔහු ගැන සිතන සිතිවිලි පවා වෙහෙසකර වෙන අවස්ථා එමට තිබුණා. ඒත් අපේ අතරේ ගලා බැස බැස සීරුවෙන් යන ආදරයක් තිබුණා. ඒ ආදරය ඇතුළේ මං සරළයි, නිදහස්, ප‍්‍රබෝදමත්.

‘‘මං කල්පනා කලේ ඒකා විඥ්ඥාන වාදියෙක්ද? පශ්චාත් නූතන වාදියෙක්ද නැත්නම් මොන යකෙක්ද කියලා...’’ ඩියෝ ඇහුවේ බංකුවේ ඇන්දට බොහෝම බර වෙන ගමන්..
‘‘ඇයි ඒ’’
‘‘තමන්ගේ කෙල්ලෙ වෙන කොල්ලෙක් එක්ක ගොල්ෆේස් යනව කිව්වම  ඕකේ වෙන්න නම් එක්කෝ ඌට ඔයාව පට්ට විශ්වාසයි, නැත්නම් ඔය මිනිහ ඔයාව අතෑරල ඉන්නේ....’’
‘‘ඔය එකක්වත් නෙවෙයි....’’
‘‘එහෙනං’’
‘‘මං එයාට කිව්වේ... සාහිත්‍ය හමුවකට ආර්ට් ෆැකල්ටියට යනවා කියලා....’’
‘‘එතකොට මේ ආර්ට් ෆැකල්ටි එක -  මමද දේශකයා...’’ 


ඩියෝ ඇහුවේ මගෙන් නෙවේ - අහසෙන්.මං වඬේ කෑල්ලක් කටේ දාගනිද්දී - ඩියෝ අහක බලාගෙන හිනාවුණා.





නැඩ්ස්
2015.03.15

Friday, November 14, 2014

කැපෙනවා, බදිනවා,දැවෙනවා, හඩනවා....




සුදු නංගි මෙහෙ වරෙන්
ගනිං මේ පොඩි කැත්ත
යමං දැන් වන රොදට
දර ටිකක් පාහින්ට.....
අද රෑට පාන් කා තේ බොන්න............


පොඩි කැත්ත කැපෙනවා
කපනවා... කපනවා...

දර අකුල් එකතු කර 
අයිය මිටි බදිනවා
බදිනවා... බදිනවා...


දර නොවේ... ජීවිතය
මිටි පිටින් බදිනවා

කාසියට මාරුවී 
දර ලිපට වැටෙනවා
දැවෙනවා.... දැවෙනවා...


දර නොවේ ජීවිතය
වැටී වැටී දැවෙනවා....

බුර බුරා නැගි අග්නි ජාලා
අපට සැර පානවා
කදුලු බිම වැටෙනවා
හඩනවා... හඩනවා...



ගාමිණී ජයවර්ධන


Thursday, September 18, 2014

සම්මතයට යටවූ අසම්මතයේ වේදනාව






බස් එකක යන ගමන්
කෝච්චියෙත් යන්න බැරි බව
දැන දැනම
කෝච්චි ටිකට් එක සාක්කුවෙ දාගෙන
බස්එක වටේ කැරකෙන මාව
ඔයාට පේන්නෙ කොහොමද කියල
මම හරියටම දන්නෙ නෑ.......
ඒත් ඔයා බස් එකට ටිකට් අරගෙන ඉවර බව,
ඔයාගෙ ගමන් මළු සේරම
රැක් එකට දාල ගැට ගහලත් ඉවර බව,
මම දන්නවා...........
එහෙම දැන දැනත්
මෙහෙම කියනවට අමනාප වෙන්න එපා.
අපි මෙහෙම කරමු.....
ඔයා බස් එකේ යන ගමන්
කාටවත් නොපෙනෙන්න
කෝච්චියෙ යන මට අත වනන්න.....
මගේ ගමන් මළුත් එක්ක
බස් එකට සමාන්තරව කෝච්චියේ යන ගමන්
මමත් අත වනන්නම්.....
අඩුගානෙ එහෙමවත් කරන්න....
මොකද ..... අපි දෙන්නම
එකම හෝල්ට්එකේ කාලයක් එකට හිටි නිසා....
මට දරාගන්න බැරි
කෝච්චි පාරයි බස් පාරයි
එක ළගින් සමාන්තරව යන පුංචි වෙලාවෙත්
දැන් වගෙම ඔයා
අහක බලාගෙන හිටියොතින් තමයි.......
එහෙම කරන්න එපා.
ඔය පාරවල් දෙක ළං වෙලා තියෙන්නෙ
පොඩිම පොඩි දුරක් විතරමයි,
මුළු ගමනටම.....


කපිල

Thursday, September 11, 2014

හැබෑ කොක්ටේල් සාදයක්..









ඉන්දීය සංගීතයට
සිංහල කකුල් කලඑළි බහින...
ඊයේ දුව පැනපු කුකුලන්
නිකම් නොව පිච්චිලා ම මේසයට ගොඩවැදුන...
අඹරලා හප කර කර
කට ඇඹුල් කරමින් අමාරුවෙන් මත්වෙන....
ලගින් යන පුන් ළමැද
නිතඹ, වටොර දෙස බලා හූල්ලන....
බඩගින්නට කන්න දෙයක් නැති
සාඩම්බර උත්සවය...





නීතීඥ කපිල ගමගේ


Tuesday, September 2, 2014

බලාපොරොත්තුවක්







වැස්ස එව්වෙ ඔබම නේද - ඔබේ අගේ මට දැනෙන්න
සීත එව්වෙ ඔබම නේද - ඔබ නැති පාළුව දැනෙන්න
විජ්ජුලතා යහළුවන්ද - ඔච්චම්කර සිනාසෙන්න
සුළග එව්වමුත් නොහැකිය - ඇරයුම් නැති ගමන් එන්න....



වැසි බිදක් බිදක් ගානේ
ගහ කොලෙහි ගැටී - මහ පොළොවෙ හැපී
වගුරන්නෙ මගෙම කදුළු
සිසිලසක් වගේ දැවටී
හී ගඩුද පිපී - සීතලට දැපී
මැලවෙන්නෙ සිනා කැකුළු......


විදුලියක් දිලෙන ගානේ
මහ හඩ දිදී - ගිනි අතු විහිදී
ඇවිලෙන්නෙ දුකයි ඉතිනී
ඔබ සුළග වගේ ඇවිදින්
අපි යමුය කියා - බදවට පටලා
සිපගන්න තුරා හිදිමී


නීතීඥ    කපිල ගමගේ