Friday, April 25, 2014

කළු සිතිවිලි


       පෙරේදා හැන්දෑවේත් අතුරුදහන්වව සිටි හුන්නස්ගිරි කඳු පෙළ නැවත සුපුරුදු වාසස්ථානයට එන්ට ඇත්තේ අද සැන්දෑවේ විය යුතුය. ඊයේ හෝ එතැන් පටන් පිටුපසට දිවෙන දින පහ හය මුළුල්ලේම එතැන නොතිබුණ ඒ මනරම් හුන්නස්ගිරි කඳු වළල්ල නැවතත් අවුදින්  මගේ නිවසේ මිදුලේ ඇති අඹ ගහ ඉදිරිපස මහවැලියට ඔබ්බෙන් ඉහළ අහසේ නවාතැන් ලා ඇත. එය හදිසියේ මෙන් ගෙනැවිත් එතැන තැබූවෝ කවුරහුද? පසුගිය සති කිහිපය පුරාම බල පැවැත්වුණ දීර්ඝ වර්ෂා සමය නිසා හාත්පස පරිසරය පවා මට මහත් හිසරදයක් වී තිබුණි. නිරිත දිග මෝසම නොවූවද මේ නමක් ගමක් නොදන්නා ධාරානිපාත වර්ෂාව මා එක්තැන් කොට අළසයෙක් බවට පත් කරන ලද්දේ එය ඇරඹී බොහෝ සුළු වේලාවකිනි. මගේ සි`ගිති පුත‍්‍රයා තවමත් පිනි බිඳු නොවියළුන තණපත් සහිත මිදුල වටා දුවමින් කහපාට සමනලයෙක් අල්ලාගන්නට වෙර දරනු, මා දැන් හිඳ සිටින හාන්සි පුටුව සහිත උඩු මහලේ ඇතුළු සාලයේ සිට බැලූ විට දැකගත හැක. ඒ සමනලයා අවාරයේ සමනල සිරස වඳින්නට යන අතරමං වූ එකෙක් වන්නට ඇත.  මා කුඩා කළ අපේ නිවස ඉදිරිපිට මහපාර දිගේ සමනළ සිරස වඳින්නට ගිය මෙවන් දස දහස් ගණන් සමනල සේනාවන් මට මතක් විය. මා මිතුරන් සම`ග ඒ සමනලූන්ගේ  පසුපස දිවගියේ කුඩා කොළුකුරුට්ටන් එකිනෙකා අභිබවමිනි. මගේ ඔටුන්න හිමි කුමරාට මෙසේ එක් සමනලයෙක් හෝ ඉතිරිව සිටීම මට ඇදහිය නොහී සතුටකි.

        පසුගිය පැයේ සිදුවූ අනපේක්‍ෂිත සිදුවීමෙන් මගේ හදවත අප‍්‍රමාණව සසැලී තිබුණි. එහෙත් ඒ චෛතසික නොසන්සුන්තාවය දැන් දැන් යථා තත්‍වයට පත්වීමට පටන් ගෙන ඇත. මගේ සිත නිස්කලංක වූ මෙවන් මොහොතක මට ලෝකයට කියන්නට කතාවක් ඇත. ගල්ගුහාවක සැ`ගව ගත් නිෂාචර පක්‍ෂියෙකු මෙන් ඒ කතාව මගේ හද පතුළේ සැ`ගවී සිට එලිපහළියට ආවේ අදයි. මමද බොහෝ විට නිදි යහනේදී පමණක් මේ කතාව යළි විමසා ඇත්තේ, දිවා කළ ආලෝකය ඊට තහනම් කරමිනි. මේ කතාව මා ඊයේ ලිව්වා නම් හෝ හෙට ලියන්නට හෝ නොතබා මේ මොහොතේම ලියන්නට තීරණය කරන ලද්දේ යළිත් හදිසියේම එය මගේ සිත පතුළේ සැ`ගව යනු ඇතැයි සිතිවිල්ලෙනි. එය පැරණි කථාවක්ද නොවේ. එලෙසින්ම අලූත්ම අලූත් කතාවක්ද නොවේ. ඒ කතාව අප සියල්ලන්ම දන්නා එහෙත් අප කිසිවෙකුත් හොඳින් නොදන්නා කතාවයැයි මට සිතේ. සියල්ලන්ම දන්නා හෙයින් එය වසන් කිරීමට හෝ කිසිවෙකු නොදන්වා යැයි සිතිවිල්ලෙන් එය පැවසීමට වඩා, ඒ කතාවේ මගේ හද සසල වන කොටස නැවත නැවත සිහි කිරීමෙන් මා තුළ ලියලා වැඩෙන අප‍්‍රමාණ පසුතැවීම යටපත් කර ගැනීමට මෙය අවස්ථාවකැයි හ`ගිමින් එය ලියන්නට මට අවැසි විය.

        ඇත්තම කතාව නම් මෙය වෙනකෙකුට පැවසීමෙන් මා මගේ හද සඳුන් ගලගා සුවපත් වන්නා සේ සුවපත් වේ යැයි මම සිතා සිටීමය. නිසැක වශයෙන්ම එය සිදුවුවත් නැතත් මම එය ඔබට කියමි. කිසිවෙකු විසින් හෝ මගේ හද රිදවන වේදනාව වටහාගනු ඇතැයි යන්න මගේ අපේක්‍ෂිත සඳුන් කල්කයි. මේ කතාව කියන්නට හොඳම වේලාව මෙය බව මගේ සිත කියන්නේ එහෙයිනිි.

              බොහෝ විට බොහෝ මිනිසුන් විසින් ජාත්‍යාලය උපතින්ම ගෙනා හදවතක් සහිත ‘‘උතුම් සිංහලයා’’ යන්නත් තවත් බොහෝ මිනිසුන් විසින් ‘‘අධම ජාතිවාදියා’’ ලෙසත් එකම වර දෙආකාරයකට මා විවේචනයට ලක්ව ඇත. මා මූලික කොට ගත් ‘‘සිවුහෙළේ සීහ නාදය’’ නමැති සංවිධානයේ මිනිසුන්ගේ අප‍්‍රමාණ පැසසුම් ලත් මා ‘‘අධම ජාතිවාදියෙක්’’ ලෙස මුසල්මානුවන් හා රෙඩිකල් සිංහල කතෝලික හා වෙනත් ජාතිකයන් අතරේ ගැරහුමට ලක් ව සිටී. මේ හංවඩුව මා මියෙනතාක් මගේ පිටේ කොටා ඇති සත්‍යයකි. විසි එක් වන ශත වර්ෂයේ දෙවන දශකයත් ඉකුත්ව ඇති මේ යුගයේ, තාක්‍ෂණය විසින් හා විවිධ අන්‍යාගමිකයන්ගේ සැ`ගවගත් සාමූහික කි‍්‍රයාමාර්ගයන් හේතුවෙන්, සිංහල ජාතිය ජාතියක් ලෙස, මරා දැමීමට විරුද්ධව වචනයෙන් මෙන්ම, අවියෙන්ද මූලිකත්‍වය ගත් මිනිසුන් අතර මම ඉදිරියෙන්ම සිටියෙමි. ඇත්තටම ගෙවි ගිය දශකය පුරා රටේ නායකත්‍වය දැරූ සිංහල නායකයින් විසින් සිය මඩි තර කර ගැනීමේ අරමුණින් සිංහල ජාතිය ‘‘ස්වභාවික මරණයකට’’ යොමු කොට තිබුණේ එයින් ඔවුන්ගේ දෑතේ ලේ පැල්ලම් නොතැවරෙන අයුරිනි. ටිකෙන් ටික ජාතිය වඳවී යන අයුරු ඇස් කණ් පියාගත් නිවටයින් සේ අපි බලා සිටියෙමු. කටුගස්තොට දී සිංහල මිනිසෙක් මුස්ලිම් ජාතිකයෙකුගේ වෙඩි පහරින් මිය ගිය දවස, මහජාතිය වීමේ උදාර අරමුණින් ඇරඹි මේ සටනේ පළමු වෙඩිල්ල තැබූ දිනය විය. ඔබ පිළිගත්තත් නැතත් මිනිසෙකු ලෙස නොව,  සිංහල මිනිසෙකු ලෙස මගේ ජාතිය වඳවී නැත්තටම නැතිවනු ඇතැයි යන සිතිවිල්ලෙන් මගේ දෙනෙත කඳුළින් බොඳවූ අවස්ථා ගණන මෙතෙකැයි කිව නොහැක.

         රට හැර යන බොහෝ උගත් තරුණයින් තාක්‍ෂණය හෝ ගෝලීයකරණය වැනි කාරණා හේතුවෙන් සිංහල නාමයක්වත් ඉතිරි නොවූ මුල් අහිමි නොපුන්සකයන් බවට පත් වෙද්දී ඔවුන්ගේ දරුවන්ට ඊට වඩා අභිමානයක් අත් වන්නේ කෙසේද? වෙනත් කිසිවෙකුගේ රටක සිට, වෙනත් කිසියම් දේශයකට, පර දේශකයෙකුට කඹුරමින් සිටින එවන් උගතුන් ඒ පර දේශක්කාරයන් අභිමුව හිස නමා ගත් නිවටුන් මිස කශේරුවක් හිමි වූවන් ලෙස හැසිරෙන්නේ කෙසේද? එවන් උන් වෙනුවෙන් මා සටන් වැදුන ආකාරයත්, ඒ පිළිබඳ නැවත නැවත මෙනෙහි කිරීමෙන් ඇතිවූ අපමණ ප‍්‍රීතිය පවා මා සහනයට පත් කරවන්නක් විය. ඊයේ වන තෙක් එහි වේදනාකාරී ස්වරූපයක් මම නොදුටුවෙමි.

          අද හැන්දෑවේ මින් පැය කිහිපයකට පෙර ‘‘මසීනා’’ මගේ නිවසට ආ මොහොතේ මම සිටියේ ප‍්‍රාදේශීය නායකයන් කිහිපදෙනෙකු සම`ග දීර්ඝ සාකච්ඡුාවක නියැලෙමිනි. ආගමික සහජිවනය, අන්‍යොන්‍ය සහයෝගය, වැනි කාරණා වමාරමින් හා නැවත ගිලිමින් ගෙනගිය කතා බහමැද්දට හදිසියේ මෙන්  කඩාවැදුන වරුසමාන්න ”සර්ව මුණගැහෙන්න මුස්ලිම් ගෑනු කෙනෙක් ඇවිත්. අපි ගේට්ටුවෙන් මෙහාට ගත්තෙ නෑ. සර්ව ඉස්සර ඉඳල අඳුනනව කියල කියනව. ඉස්සර යාළුවෙක් ලූ. මොකද කරන්නෙ සර්? ළමයි දෙන්නෙකුත් එක්කං ඇවිත් ඉන්නෙ” කිවේය.

මොකක්ද ඒ කෙනාගෙ නම කිවුවෙ? මම ඇසුවේ නිර්භයව කොටි කටට පැමිණි මුවදෙන කවුරුන්දැයි දැනගන්නා අටියෙනි.

”මසීනා කියල කෙනෙක්..සර්...” වරුසමාන්න කිවේ මගේ මුව දෙස අඛණ්ඩව හෙලමින් වුන් බැල්ම මේසය කෙළවරේ හිඳගෙන සිටින සරිත් විජේරත්න වෙත හෙලමිනි.

      මා නොසන්සුන් වූයේ ඒ මොහොතේ පටන්ය. මසීනාගේ පුනරාගමනයේ ආනිශංෂය මට දරාගත නොහැකි ද`ඩුවමකි. මගේ සිත නොපැහැදිලි හා නොසන්සුන් වී ඇත. ඒ නොසන්සුන් සිත මට කිසිසේත් වාවා ගැනීමට නොහැක වී ඇත්තේ ඇගේ වදන්වැල් වල තිබු පෞරුෂය විසින් මා නිවටයෙකු කර ඇති හෙයිනි.

     සරිත් යනු සම්පූර්ණයෙන්ම මුස්ලිම් විරෝධී පුද්ගලයෙකි. ඔහු මුලින්ම මා හඳුනා ගත්තේ වරක් මවිසින් ලියූ ලිපි කිහිපයක් පලකරවා ගනු පිණිස ප‍්‍රමුඛ පෙළේ පුවත්පත් ආයතනයකට ගිය විටදීය. ඒ සමයේ අතිශය නිර්ලෝභී සිතින් නිර්දය ලෙස මුසල්මානුවන් හා ඔවුන්ගේ ධර්ම ප‍්‍රචාරණ කටයුතු පිලිබඳ විවරණය කරමින් පුවත්පත් ලිපි ගණනාවක් ලියු මේ ලේඛකයා හඳුනාගැනීමත් ඒ අවසරයෙන් මාගේ ලිපි එම පුවත් පතේ පළ  කර ගැනිමත් එක ගලෙකින් අල්ලාගත් කුරුල්ලන් දෙදෙනෙ බවට පත් විය. මගේ ලිපි පුවත්පතේ පළවු අතර සරිත් හා මගේ තදින් බැඳීගත් හිතවත්කමෙක්ද දළුලා වැඩුනේ ක‍්‍රමයෙනි. මම මසීනා යන නම අවසන් වරට ශ‍්‍රවණය කලේ වසර විස්සකටත් එපිට අතීතයේ දිනකදීය. එහෙත් ඇය පැමිණෙන්ට පෙර දිනත් මසීනා හා සමග කතාබහ කළා වැනි තරම් සමීපත්‍වයක් ඒ නම ඇසීමෙන් ඇති වූයේ ඇයි? ඒ සමහරවිට මට ඇය විශේෂ එකියක වු හෙයින් විය යුතුය. එහෙත් එවන් විශේෂත්‍වයක් නොමැත්තා සේ හ`ගවා ”පරීක්‍ෂා කොට ඇතුළට ගෙන මඳක් වේලා රඳවාගන්නැයි” යැයි වරුසමාන්නට දන්වා සිටි මා තවදුරටත් පවත්වාගෙන ගිය සාකඡ්චාව නොනැවැත්වූයේ මුස්ලිම් ගැහැණියක් කෙරේ එවන් විශේෂත්‍වයක් දැැක්වීම මේ මොහොතේ මගේ අවාසියට සිටින්නට හැකි හෙයිනි.

    මසීනා මා හඳුන්නේ උසස් පෙළ ප‍්‍රතිඵල අපේක්‍ෂිතව සිටි මාස කිහිපයක කුඩා කාලය තුළ”සත්මිණ” මුද්‍රණායතනයේ ගිණුම් කටයුතු කිරීම සඳහා සහභාගී වූ සමයේ දීය. මගේ පියාගේ මිතුරෙකුට අයත්ව තිබූ එම මුද්‍රණාලයේ ගිණුම් කටයුතු මෙන්ම කාර්යාලයීය කටයුතුද ඉටු කිරීමට මට සිදුවුණේ  පියාගේ දැඩි ඉල්ලීම ඉවත දැමිය නොහැකි හෙයිනි. විදුහලේ අවසන් දින කිහිපයේ මිතුරන්් හා එක්ව විනෝදයෙන් කල් ගෙවීමට රිසි වූ අප විභාග ප‍්‍රතිඵල එනතෙක් දිනපතා පාසල්යාම සිරිතක් ලෙස සිදු කරන විට මෙවැනි වගකීමක් පැවරීම එදවස මට ඉමහත් කරදරයක් විය. එනයින් දිනපතා ‘‘සත්මිණට’’ යාමට මැලිවූ මා වැටුපකට වැඩ නොකල නිසා තාත්තාගේ අනුමැතිය මත දින හතරක් පමණක් මම එහි ගියෙමි. මසීනා සිටියේ පරිගණක යතුරු ලියන කුටිය තුළයි. දිවා ආහාරයේදී අප එකිනෙකා මුණගැසුනා හැර එය වැඩි හිතවත් කමක් නොවුණේ ම’විසින් කළ යුතු වැඩ  ප‍්‍රමාණය මෙන් කිහිප ගුණයක් ඇය විසින් ඉටුකළයුතු නිසා විය යුතුය. මසීනා මට වඩා වැඩිමහල් වූයේ එක්කෝ වසරකටය, නැත්නම් දෙකකටය. එහෙත් කිසි දිනක මසීනා ගේ වතේ මට වඩා වැඩිමහල් සවරූපයක් නොවීය. මුස්ලිම් යුවතියක් වූ ඇය සිංහල අකුරු ඇහිඳින්නේ කෙසේද යන්න පිළිබඳ මම ඉමහත් විමතියකට පත්ව සිටියෙමි. ඊටත් ඇගේ කෙස`ග ඇ`ගිලි තුඩු අග රිද්මයෙන් මම ඇයට වශීවී සිටි සමයක්ද මගේ දිවියේ ඇත. මේ සිංහල අකුරු ඇමිණීමේ ප‍්‍රතිඵලයක් ලෙස දෝ ඇයට එදවස පටන්ම සිංහල භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාවක් තිබුණි.

ඇගේ විලාසිතාවන් පවා මගේ මතකයේ  ගැඹුරක තවමත් තිබේ. ඇය බොහෝවිට ඇන්ඳේ ෂල්වාර් කමිස සහ සුලිදාර් නමින් හැඳින්වූ දෙපයට හිරවන අන්දමේ මෝස්තරයක කළිසමකි. ඇගේ දෙසවන වසාගෙන සිටි හිජාබ් සළුවේ (මුස්ලිම් කාන්තාවන් විසින් සිය හිස හා ගෙල පමණක් වසා ගැනීමට පළඳින සළුව* නළලට දිළිසෙන කුඩා ගල් අල්ලා වැඩදමා තිබුණි. මගේ මතකය නිවැරදි නම් ඈ ඉඳහිට වරෙක හිජාබ් සළුව නොපැළඳි විට ඇªමට ගැලපෙන සළුපටක් දෙසවන වැසෙන සේ ගෙලවටා පැළැන්දාය.බොහෝ විට කළු පැහැය සහිත මෙම ෂල්වාර් කමීස හෝ හිජාබ් සළු වලින් යුක්ත වූ විට ඇගෙන් වහනය වූ අමුතුම සුන්දරත්‍වයක් හා මලානික ස්වරූපයක් වැනි දෙයක් මගේ තියණු දෑසට හසුවී ඇත.

           මසීනා ඉතා සිහින් යුවතියක් වූ අතර හිජාබ් වැස්මට මෙපිටින් වූ ඇගේ කුඩා මුහුණ මට කියාපෑවේ වේදනාවක පෙරනිමිති ගණනාවකි. ඇගේ කවාකාර දෙබැම තද කළු පැහැය. ඇගේ දෑසේ ඇසිපිහාටු  දිගුය, ගණය. ඊටත් නිරන්තර අඳුන් ගැල්වීමකින් සත්කාර ලැබුමට තරම් ඒ දෑස් පින්වත් වී තිබුණි. පරිගණකයේ දිගුකළක් වැඩකිරීම නිසා ඇගේ දෑස් මඳක් ගිලී තිබුණද ඒ ගිලීගත් දෑසේ දිස්නය පුංචි මිණිකැට දෙකක් මෙන් දීප්තිමත් විය. ඈ මදෙස එක එල්ලේ බැළු කිසිවිටක මට ඒ දැස් දෙස බැලිය නොහැකි වූයේ එහෙයින් විය යුතුය. ඈ ඉතාම පැහැපත් යුවතියක් වූ අතර මුසල්මානුවන්ට වෙන්වූ පැහැය ඇයට උරුමයෙන් ලැබී තිබිණ. ඇගේ හිස හා ගෙල වසාගත් හිජාබ් සළුව නොමැතිව කිසි දිනක ඇය දැක නොතිබුණත් සත්තකින්ම ඇය ඉතා රූමත් දිගු කෙස් කළඹක් සහිත එකියකැයි මා මටම මුමුණාගෙන ඇත. එපමණක් නොව මගේ සමීපතම මිතුරන් සම`ග ඇගේ රූපයත්, ඇය මට කැමැත්තෙන් සිටින බවත් පවසමින් බොරු ගොන්නක් නඩත්තු කිරීමටත්, එකල මම ඉදිරිපත් වූයෙමි.  ඇගේ මුහුණේ උතුරන අහිංසකකම (අහිංසක යන වදනේ තේරුම ඇය අසා දැනගත්තේ මගෙනි* කිසිදු සළුවකින් වසා දැමිය නොහැකි වුවා මෙන්ම තොල් ආලේපනයක් නොමැතිව සිටියදි වුව රත් පැහැයෙන් දිළි ඇගේ දෙතොළේ තිබූ කතාවක් හෝ ගීතයක් මට ඇසී ඇතැයි මම සිතමි. මසීනා යන නම හා ඇගේ මුසල්මානුවන්ට උරුම ඇඳුම් පැළඳුම් නොවන්නට ඇය ඉතා රූමත් සොඳුරු සිංහල ගැමි යුවතියක් සිහියට නංවනවා නියති.

‘‘තමුසෙට මුස්ලිම් යාළුවොත් ඉන්නවද මාධව?’’ සරිත් ඇසුවේ මගේ පාර්ශවයෙන් මේ අහඹු මුස්ලිම් කත හඳුන්වා නොදීමට අප‍්‍රසාදය පළකරන හැ`ගීමෙනි.

”ඔය ඉස්කෝලෙ යන කාළෙ අඳුනන කෙනෙක් වෙන්නැති මයෙ හිතේ... මෑතක නං මට කොයින්ද මුස්ලිම් යාළුවො? මොකට ආවද දන්නෙ නෑ”

මම කීවේ සරිත්ගේ කතාව නොරුස්නා ස්වරූපයෙන් බැහැරලමිනි. මා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙකු මෙන්ම ඇමතිවරයෙක්ද වුවත් සරිත් මට කිසිදු බියක් සැකයක් නොමැතිව ”තමුසේ” කියා අමතන්නේ මා මෙතැනට ගෙනාවේ ඔහුගේ ප‍්‍රමුඛත්‍වයෙන් යැයි ඔහු තදින්ම විශ්වාස කරන හෙයිනි. මා ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දුන් පසු ඔහු හමුවූ මුල් අවස්ථාවේම ඔහු කතා කළේ ”අයිසේ මාධව මට තමුසෙට ඇමතිතුමා කියල කතා කරන්න නං ටිකක් කල් යාවි” කියාය. ඔහු කී ලෙසින්ම මට ”ඇමතිතුමා” හෝ ”සර්” යනුවෙන් අමතන්නට ඔහු වෙර නොදරයි. මා පමණක් සිටින අවස්ථාවන්හිදී සරිත්ගේ මේ කතාබහ මට අපහසුවක් නොවුවද, අනෙක් මිනිසුන් ඉදිරිපිටදී මෙසේ හැසිරීම මා විටෙක ප‍්‍රකෝප කරවයි. එහෙත් ඔහු තරහ කර ගැනීමෙන් උද්ගත වියහැකි දුස්සාධ්‍ය තත්‍වයන් මෙනෙහි කිරීමෙන් මම නිරන්තරයේ මගේ සිත අස්වසාගන්නෙමි.

සාකච්ඡුා වටය අවසන් වීමට තවත් පැයක් හෝ පැය භාගයක් වැය වූ අතර, මා එහෙම පිටින්ම හිටියේ මසීනා ගැන මතකයන් එක් කරමින් ඉවුරු බඳිමිනි. සාකච්ඡුාවට සහභාගී වු සියල්ලන් ප‍්‍රදේශීය නායකයන් වූ අතර අප නියෝජනය කරනලද පක්‍ෂය වසර දහයකටත් මෙහා බොහෝ මෑතකදී පිහිටුවා ගන්නා ලද ජාතිහිතෛශී පක්‍ෂයකි. ජාතිය වඳවීමේ තර්ජනයකට පත්ව ඇතැයි යන්න අපේ සංවිධාන ව්‍යුහය ආරම්භ කරන්නට ම`ග පෑ¥ කාරණය විය. අවසානයේ කිසි විටකත් අපේක්‍ෂා නොකල ජීවන අත්දැකීම් රාශියකටත්, එමතු නොව යුද්ධයක් බවට පත්වූ ජන වාර්ගික ගැටුමකටත් ම`ග පාදන ලද්දේ එම අතිශය අභිමානනීය ජාතික කැක්කුමයි.

මුල් කාලයේදී අප සියල්ලන් සිටියේ දේශපාලනමය අවශ්‍යතාවයන් උදෙසා පෙළ ගැසීමකින් තොර, සංවිධානය වීමක් මත වුවද, බොහෝ කෙටි කලක් තුළ අප පවා නොදන්නා දේශපාලන මුහුණුවරක් එම සංවිධානයට අත්වී තිබුණි. ‘‘පෙරලූන පිට හොඳයි’’ කියා කීම හැර කරන්නට දෙයක් නොමැතිවීමෙන් දේශපාලනමය මාර්ගය තොරා ගැනීමට මා ඇතුළු පිරිවරට සිදුවූයේ රාජ්‍ය තාන්ත‍්‍රිකව මෙන්ම වෙනත් විවිධ පාර්ශවයන්ගෙන් එල්ලවූ තර්ජනයන්ට පිළිතුරු දැක්වීමක් ලෙසය. ඒ විවිධ තර්ජනයන් අතර නොයෙක් විට එල්ල වූ ජීවිත තර්ජනයන්ද විය. විටෙක මා යම් කණ්ඩායමක පැහැර ගැන්මට ලක්වූ අතර දින දෙකකට පසුව නැවතත් මතුගම නගරයට ආසන්නයේ තැනක අතහැර දමා යෑමෙන් ඇතිවූ අනපේක්‍ෂිත ප‍්‍රසිද්ධිය මගේ දේශපාලන ගමන් මෙ`ග් ආරම්භයයි. දැන් මා දේශපාලන වේදිකාවේදී කියනා බොහෝ කතාවන්, එම කතාව නිමවූ පසු තනිම මෙනෙහි කර බැලූ විට මටම දැනෙන ජුගුප්සාවත්, ඒ තරමටය බල ලෝභයෙන් මත්වී නන් දෙඩවූයේ ඇයි දැයි යන පැනයත්, යන කාරණා දෙක දෑගසවුවන් මෙන් දෙපසින් සිටියෝය.

බොහෝ අවස්ථාවන්හිදී නැවතත් හැරී පෙර ගතකල දිවියට යන්නට මට වුවමනා විය. එහෙත් එවන් අවස්ථාවන්හිදී මගේ පිළ නියෝජනය කළ කිසිවෙකු එසේ මා සම`ග අභිනික්මන් කිරීමට සූදානම් නොවීය. සරිත් හෝ වෙනත් කිසියම් සාමාජිකයෙකු එවන් හැරයාමකට සැරසෙන විට මට ඒ හා එක් වීමට සිත හදා ගන්නට නොහැකි විය. ඒ වන විට මා ජිවන වෘත්තිය වශයෙන් දැන සිටියේත් ‘‘උණු නිසාවෙන් පානය කළ නොහැකි, කිරි නිසාවෙන් ඉවතලනු නොහැකි’’ මේ උභතෝකෝටිකය පමණි. පොහොසත් වැදගත් පරපුරක දියණියක් හා සරණ යෑමටත්, සියලූ පහසුකම් සහිත ජීවිතයක් විඳිමට අවස්ථාව ලැබුණේ ඒ දැළි පිහියෙන් කිරි කෑමේ දක්‍ෂතාවය නිසාවෙනි.

මගේ ගෙවී ගිය කෙටි ජීවිත කාලය තුළ මා කිසි විටකත් වාර්ගික අර්බුදයක් අපේක්‍ෂා නොකල අතර මගේ පිළ නියෝජනය කරළ භික්ෂුන් වසන්සේලා කිහිපදෙනෙක් සම`ග එක්වූ සරිත් ද, තවත් ජාතිකාභිමානී හැ`ගීමෙන් ඔඳවැඞීගත් පුද්ගල සමූහයක් ද විසින් සිංහල ජාතිය උසිගන්වමින් හා නොයෙක් ආකාරයේ ප‍්‍රචාරණයන් කරමින් මුසල්මානුවන්ට එරෙහි සටන ආරම්භ කරන ලද්දේ සමස්ථ පූජ්‍ය පක්‍ෂයේ දැඩි සහයෝගය මතයි. විවිධ රටවල් වලින් රජයට එල්ල වු අනේකප‍්‍රමාණ තර්ජනයන් හමුවේ, සම්භාධකයන් අභිමුවේ වුව ගෙවී ගිය ඒ සමය, කිසි විටකත් මතකයෙන් පහ නොවන සිදුවීම් ගණනාවකින් සමන්විත වූ සමයකි.

හැම ගෙදරකම පාහේ මල ගෙවල් නැවත බිහිවීය. සිංහල - දෙමළ වාර්ගික අර්බුධය මෙන් දීර්ඝ කාලීනව ඇදී නොගියද, දෙවසරක් පුරාවට ඇති වු සටන් නිමා වුයේ සිංහල ජාතිය මහ ජාතිය ලෙස ආණ්ුඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ පරිච්ෙඡ්දයන් කිහියක් සංශෝධනය කරමිනි. එවන් පිළිතුරකින් පමණක් සෑහීමට පත් නොවුණද, තවදුරටත් සටන් කිරීම ලෝකයේ අප අතරමංවන්නට ම`ග පාදන බව අප සියල්ලන්ටම පැහැදිලි විය.  සරිත් වුවද මා සම`ග ඒ පිළිබඳ දෙගිඩියාවකින් තොරව පවසා ඇත.  මගේ අවශ්‍යතාවයය කුමක් වුවත්, මට පෙනී සිටීමට සිදුවූයේ වෙනත් පුද්ගලයින් වෙනුවෙන් බවත්, එක් අතකට ඒ සමයේ ගත් බොහෝ තීරණ සෑම මිනිසෙකු විසින්ම සිය ජීවිතයේදී උදාවන යම් යම් අවස්ථාවන්හි දී ගන්නා ඒවා යැයි සිතමිනුත් මම සෑම විටම පාහේ මාගේ වැරදි සියල්ල සාධාරණීකරණය කළෙමි. අවසානයේ අපි නොදැනුවත්වම යම් අදිසි හස්තයන් ගණනාවක දෝළනය වන්නන් විනා, අපට අවශ්‍ය වූ කාරණය ඉටුකර ගන්නන්ගේ ගණයට නොවැටුණෙමු. අර්බුධය නිර්මාණය වූයේ ඒ ආකාරයෙනි.

තමුසෙ මුස්ලිම් ගෑනියෙක් මුණ ගැහුණ කියල කවුරුහරි පත්තරේකට ලිව්වොත් ඔක්කොම විනාසයි.. තේරුණාද? සරිත් පැවසුවේ මා ජනේලයෙන් පිටත බලා සිටි ඉසිඹුවේදීය.

තමුසෙම තමයි ඉතින් ලිවුවොත්... මම ඒ පැනය ඔහු මතම තැබුවෙමි.

දැන් ඒ ගෑනි හම්බ වෙන්නේ තනියමද?

ඇයි?

ඒක අර්බුධකාරී තීරණයක් වෙන්න පුළුවන්...

මගේ පරණ යාළුවෙක් හදිසියේ මුණගැහීම?

හ්ම්...

බලමු......

මම සරිත් ම`ග හැරියෙමි. ඇත්තටම ඊට ලැබෙනා පිළිතුර කුමක් වුවද ඔහු පිටව ගියේ එතරම් හිත හොඳකින් නොවන බව මම පැහැදිලිවම දුටුවෙමි. එහෙත් මගේ පෞද්ගලිකත්‍වය ඔවුන් හමුවේ හෑල්ලූ නොකිරීමට මම සෑම විටම වගබලා ගත්තෙමි. සාකච්ඡුාව නිමවී සියලූ දෙනා පිටව ගියද සරිත් එසේ පිටව නොගියේය. ඔහු කාර්යාලයීය කාමරය තුළ රැුඳෙද්දී මම නිවසේ පහත මාලයේ අමුත්තන් වෙනුවෙන් වෙනම ම පිහිටුවා ඇති අමුත්තන්ගේ කාමරයට ගියෙමි.

ඉතින් ඇය එහි මා එනතුරු අපේක්‍ෂා සහගතව රැුඳී සිටියාය.  අලූත් පන්තියකට ඇතුළු වන නවමු සිසුවෙකු මෙන් මගේ සිතද කැළඹී තිබුණි. ඇගේ දෑසේ අර බොහෝ කලකට පෙර සැ`ගව තිබූ මිණි කැට යුගල කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබුණි. එසේත් නැත්නම් ඇගේ දෑසේ කිසිදු හැ`ගීමක් නොතිබුණ බව පමණි මා නිසැකයෙන්ම දුටුවේ. කුමක් කිව යුතු දැයි හෝ ඇගේ ඉල්ලීම කුමක් වේදැයි හෝ නොදන්නා මම මගේ නිවසේම ආගන්තුකයෙක් සිටියෙමි. ඇගේ දරු දෙදෙනා බවට කිසිදු සැකයක් නොමැති කුඩා දරුවන් දෙදෙනා මගේ පැමිණීම පිළිබඳව කිසිදු අවධානයක් නොදක්වා කාමරයේ හැම තැනම ඇවිදිමින් මේ අපූර්ව නිවස පිළිබඳ ගවේශණයක් යෙදෙමින් සිටියෝය.

නිවස තුළට කතා කල මම මගේ පුංචි පුත‍්‍රයා කැඳවා මසීනාට හඳුන්වා දී ‘‘මේ යාළුවො එක්ක ගිහින් සෙල්ලම් කරන්න පුතා’’ යැයි කීවෙමි. පුංචි එකා දන්නා දවසේ පටන් මුස්ලිම් මිතුරන් නොමැති වූ හෙයින්, මින් පෙර නොදුටු විරූ ඇ`ගළුම් හා පැළඳුම් සහිත මේ අළුත් මිතුරන්ගෙන් පුදුමයට පත් මගේ සිවු වියැති පුත‍්‍රයා මුලින් මඳක් දුරින් සිටියත් මොහොතකින් ඔවුන් සම`ග නික්ම ගියේ මසීනාගේ ඉ`ගියෙන් ඇගේ දරුවන් මගේ පුතාට ඉස්්සර වූ පසුවය. අප දෙදෙනා පමණක්.... වසර ගණනාවකට පසුව.... අප දෙදෙනා පමණක්.... ඒ අවකාශය තුළ ඉතිරි වී ඇත. ඇගේ ජාතිය වැනසීමට වෙර දැරූ වරද වසාලන්නට, ඇය සනසාලන්නට, මට ඇයට දිය හැක්කේ මොනවාද? මම මොහොතක් මගෙන්ම විමසාගතිමි. ඇයට අවශ්‍ය  ඕනෑම දෙයක් ලබා දීමට මට දැන් හැකියාව තිබේ. මුදල්, හොඳ රැුකියාවක්, නිවසක් හෝ වුවමනා වෙනත්  ඕනෑම දෙයක් ඇයට මගෙන් වුවමනා කවරක්ද? වසර විස්සකටත් පසුව ඇය මෙසේ පැමිණියේ ඇයි?

ඒ සමහරවිට මා මරා දමන්නද?

ඔවුන්ගේ ජාතියට විරුද්ධව මහා සංග‍්‍රාමයක් ඇරඹීමට මුල්වූ, සිය ජාතියෙන් අඩක් විනාශ කර දැමූ, ව්‍යවස්ථාවන් හා නීති සංග‍්‍රහයන් තුළින් තමාට හිමිවූ සියලූ සමානාත්මතා අහිමි කළ විරුද්ධවාදියා මා දැමීමටද? ඇගේ වරිගය නැසූ නොසන්ඩාල මිනිසා මරාදැමීමට ඔවුන්ගේ කිසිවෙකුගේ පෙළඹවීමකින් මසීනා මෙහි පැමිණියාවත්ද? නිවසට ඇතුළුවන ගේට්ටුවල රඳවා ඇති, පරීක්‍ෂාකිරීමේ යන්ත‍්‍රවලට හසුනොවූ ආයුධයකින් දැන් ඇය මට පහර දෙනු ඇත. එවිට ඇය හා ඇගේ දරුවන් දෙදෙනා මගේ ආරක්‍ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වනු ඇත. මා මියගිය පුවත උණු කැවුම් සේ විකිණි අන්තර්ජාල පිටු මත ඉක්මනින් ඇඳී මැකී යනු ඇත. ඉඳින් මා මල පසු ඇය අත්අඩංගුවට ගැනීමෙන් ඇති ප‍්‍රයෝජනය කුමක්ද? ඇය ඉදිරිපිට ඇති අසුනේ මා අසුන් ගත්තේ මරණයට කැපවූ ගවයෙකුට වඩා වෙනස් අයුරකින් නොවේ. ඒ මෙහොතේ මම මරණයට කැපවී සිටියෙමි.

ඇය හා සමග කතාව පටන්ගත යුත්තේ කෙසේද?

මම නිහ`ඩ වි සිටියෙමි. කොතරම් වේලාවක්ද? විනාඩි පහක්, දහයක්,පහළොවක්? ඇය සිය හ`ඩ අවධි කරන තෙක් මම නිහ`ඩව සිටියෙමි. මසීනා සැප පහසුවට හිඳ සිටි අසුනෙන් මඳක් ඉදිරියට රූටා අවුත් දෑත් උකුළත මත බැඳගත්තාය. ඒ දෑත් බොහෝ කලකට පෙර ඇය පණ මෙන් අදහන ලද දෙවියන්ටත් හොරෙන් වරක් මා අල්ලා ගත් ඒ දෑත් මරතොණ්ඩියෙන් විරහිත ඒවා විය. ඇගේ සුදුමැළි වූ දෑතේ තැඹිලි පැහැයෙන් රටා මැවූ මරතෝණ්ඩි නොමැති වීමට මුල්වූ කාරණා අතර මා සිටින බව මට ඒත්තු ගැන්වීමටද ඈසිය දෑත් මෙසේ මට දැක්වූයේ? ඇය සිය දෙනෙත් මා වෙත යොමු කළේ දෙතොල් තරයේ පියවාගනිමිනි. මොහොතින් නැවත සැහැල්ලූ වූ ඇය එක එල්ලේම මගේ දෙනෙත් දෙස බැලූවාය.

‘‘මං ආවේ මිස්ටර් මාධව ගෙන් පුංචි වෙලාවක් අරගෙන පොඩි ප‍්‍රශ්න කීපයක් අහන්න විතරයි. මං ඉක්මනට යනවා. මේ ල`ගකට ආව ගමන් මං ආවෙ.... ’’

ඈ තමා පැමිණි මේ ගමන පිළිබඳ පසුතැවෙන බව ඒ වදනින් මට වැටහිණි. ඇය මේ ගමනේ ඇති නොවටිනා කම මට කීමට උත්සාහ කිරීමෙන් මට වැටහුණේ එයයි. ඇගේ කතාබහ ඒ ස්වරය අතීතයේ මගේ සිත අරක්ගත් ස්වරය හා මම සැසඳුවද ඇත්තටම අතීත මතකය මගේ මනසින් මැකී ගොස් තිබුණි. මොනවා වුණත් මගේ නිගමනය වූයේ ඇගේ ස්වරය පෙරට වඩා ශෝකාන්විත බව පමණි.

‘‘ ඕන දෙයක් කියන්න මසීනා...’’

‘‘ඔයාට දැන් ගොඩක් සතුටුද? ඔයා බලාපොරොත්තු වෙච්ච දේ ලැබුණද? මට කියන්න ඔයා මේ වෙච්ච දේවල් හැම දේටම කියන්නෙ ජාත්‍යාලය කියලද? මිනිස්සු ගණනාවක් මැරුණට පස්සෙ හැම තැනකම ඔයා කිය කියා ගිය, ඔයා දැකපු හීනය සැබෑ වුනාද? මිස්ටර් මාධව?’’

‘‘මසීනා මේක මගේ පෞද්ගලික තීරණයක් නොවෙයි.... සාමූහික ක‍්‍රියාමාර්ගයක්.... එතනදි මම සාධාරණද නැද්ද කියල බල බලා ඉන්නැතුව මට ගොඩක් දේවල් කරන්න සිද්ධ වුණා.....’’

‘‘ඒක තමයි මං අහන්නෙ ඔයා ඒකෙන් ගොඩක් සතුටු වෙනවද කියල? ’’

‘‘ඇයි මේ විදියට මාව අපහසුවට පත් කරන්නෙ මසීනා... ’’

ඇය සෝපහාසය මුසු බැල්මක් මා දෙස හෙළුවාය. ඉන් පසු ඇගේ දෑත් නැවතත් තර කර ගත්තාය.  ඇය මගේ සිත රිදවීමේ සටනක් අරඹා ඇත.

‘‘ඔයාට මං අහපු ප‍්‍රශ්නෙට උත්තර දෙන එක අපහසුවට පත්වීමක්ද මිස්ටර් මාධව? එතකොට මං, මගේ දරුවො, අපේ ජාතිය තමන්ට වටිනම මිනිස්සු මැරි මැරී යද්දි කොච්චර වේදනා වින්ඳද.. එතකොට ඔයා පොඞ්ඩක්වත් අපහසුවට පත්වුණේ නැත්ද? ’’

‘‘මසීනා ඔයාට කවදාවත් තේරුම් ගන්න බැරි දෙයක් ඒක... මං අහන්නේ ඔයා ඔයාගේ ජාතියට ආදරේද නැද්ද’’

‘‘ඔව් මට කිසි දෙයක් තේරුම් ගන්න බෑ... මීට අවුරුදු ගාණකට කළින් ඔයා මට කිවුව දේවල්වත් මට තේරුම් ගන්න බෑ... ඔයාට මතකද දවසක් ඔයා මට කිවුව කවුරු මොනව කිවුව වුණත් මාව බඳින්න ලෑස්තියි කියල.... ඇත්තටම මම ඒව එදා විශ්වාස කළා නම්? ’’

‘‘ඒක සිද්ධ වුණේ මං පොඩි කොල්ලෙක් වෙලා ඉඳැද්දි.... දැන් මං කිසි තේරුමක් බේරුමක් නැති ඒ පොඩි එකා නෙවෙයි මසීනා... මේ කිසිම දෙයක් මට වුවමනාවට කරපු දේවල්වත්, ඒ හැමදේම මං අනුමත කරන දේවල්වත් නෙවෙයි. අනික එදා මං ඒ  කියපු කිසි දෙයක් අදත් මං හිතන්නෙ නෑ මං බොරුවට කිවුව කියල.... ’’

මා කිවේ හිඳ වුන් අසුනෙන් නැගිට ජනේලය වෙත පිය නගද්දීය. ඇගේ දෙනෙත් දෙස බැලිමේ සියුම් අපහසුවකින් මම පෙළුනෙමි. එහෙත් ඒ අතතීත සිදුවීම් කිසිවිටකත් ඇය රවටන අදහසින් මා නොකී බව ඇය පිළිගත යුතුය. ඇය සම`ග දිනක වුවාහ වූවා නම් මා අද මෙවන් මාවතක පිය නොනගනු ඇත. එහෙත් ධෛවය මට ලබා දී තිබෙන්නේ කටු අකුල් වලින් සැදුම් ලත් ගැරහුම් පිරි මාවතකි. ඇයට මගේ හදවතේ ඇතුළු පැත්ත ඒත්තු ගැන්විමට මට කිසිවිටකත් නොහැකි වන්නේ ඇගේ සියලූ අවාසනාවන්හි පළමු විත්තිකරුවා මම වන බැවිනි.

‘‘මං බැන්දෙ මීට අවුරුදු දාසයකට කළින්. අවුරුදු දාසයක් ගෙවෙන්නත් කලින් මං මිනිහෙක් නැතුව අතරමං වුණ ගෑණියෙක් වුණා. ඔයා දන්නවද මගේ දරුවොන්ට දැන් අප්පෙක් නෑ. හිෂාන් ෆෙරීස් දිසානායක කියන්නෙ අම්ම මුස්ලිම්, තාත්ත සිංහල කෙනෙක්. එයාගෙ තාත්ත පුංචි කාලෙම මැරිල. ඒ නිසා එයා අම්ම එක්ක හැදිල තියෙන්නෙ. අම්මගෙ නෑදෑයො අතරේ. සල්ලි ටිකක් හොයාගෙන එංගලන්තෙ ගිහින් හොඳින් ඉගනගෙන ලංකාවට ආවෙ රටට සේවයක් කරන්න. ඉගනගෙන එහේ පදිංචි වුණේ නෑ. රටට සේවයක් කරන්න ආවේ. මං කොච්චර දුප්පත් වුනත් එයා දෙසැරයක් නොහිතම මාව බැඳගත්ත. මට කිසි දෙයක් අඩු පාඩු කලේ නෑ. එයා කිවුව මේක අපේ රට කියල.. අපේ දරුවොන්ට සතුටින් ජීවත් වෙන්න මේ රට හොඳ මිනිස්සුන්ගෙන් පුරවන්න  ඕන කියල... අන්තිමට මොකද වුණේ? අම්පාරට බෝම්භ දාද්දි ඒ අහිංසකයගේ කුකුල නැතිවුණා... කකුලක් නැතුව අනිත් කකුල අද්ද අද්ද සිංහල මිනිස්සු ළ`ගට ගියාම ඒ අය අපිව පන්න ගත්තෙ මුස්ලිම් එවුන් කියල, මුස්ලිම් මිනිස්සු මගේ මූණටම බැන්න සිංහල එකෙක් බැන්ඳ කියල.. කොයිතරම් නං හිත රිදුනද? කොයිතරම් අපි දරුවො තුරුළු කරන් ඇ`ඩුවද? මේ අසාධාරණේට මූණ දීගන්න බැරුව එයා මැරුණ. කොහොමද දන්නවද... වස බීල... වෙඩි වැදිල නෙවෙයි.. බෝම්බෙකට අහුවෙලා නෙවෙයි.. වස බීල... තමංගෙ ජාතිය අඳුනගන්න බැරුව වස බීල... මට ඔයා කියන්න මිස්ටර් මාධව, මගේ දරුවො අයිති මුස්ලිම් ජාතියටද, සිංහල ජාතියටද? උන් උන්ගෙ අප්ප වගේම වස බීල මැරෙන එකක් නැද්ද?


අවසන් වදන් කීපය ඇගේ මුවින් ගිළිහුණේ ඉකියක් මුසුවුණ ඇ`ඩුමක් අතරිනි. එහි ඇත්තටම තිබුණේ ආවේශයට පත්වූ පළිගැනීමේ කෝපයකි. මම ඇගේ දිගු වදන් වැලෙන් අපමණ පීඩාවටත් වේදනාවටත් පත්ව සිටියෙමි. ඇය පැවසූ පරිදි ඇගේ සැමියා අයත් වන්නේ සිංහල ජාතියට ද නැත්නම් මුසල්මානුවන්ටද? ඇගේ කණවැන්දම් ජීවිතයට මුල් වූයේ මා නොවේද? ඔවුන් දෙදෙනාගේ දරුවන් අයත් වන්නේ මුසල්මානුවන්ටද? සිංහලයන්ටද? මම වහා මගේ පුතුට මසීනාගේ පුතාගේ සුදු පැහැ තොප්පිය සිතින් පැළැන්¥යෙමි. ඔහු ඒ දරු දෙදෙනාගෙන් වෙනස් වන්නේ කුමකින්ද? නැත බාහිර ස්වරූපයෙන් ඔවුන් තිදෙනා සමානය. මසීනා මගේ නිවසට පැමිණෙද්දී වුවද සිය පුතුගේ හිස පැළඳු මුසල්මානුවන්ගේ පොදු තොප්පිය ඉවත් නොකලේ මට එය දැනවීමට ද? මේ තොප්පි පැළඳසිටින්නේ සිංහල දරුවන් බව හුවා දැක්වීමටද? නැත්නම් ඒ ඇගේ උදාරත්‍වයද?

‘‘මගේ දරුවන් අයිති රට මට කියන්න මිස්ටර් මාධව... මං එතකොට උන්ව ඒ රටට ගෙනියන්නං...’’ කියමින් ඇය නැ`ගී සිටියේ.

‘‘තරහ ගන්නැතුව කියන්න .... මගෙන් මොනව හරි උදව්වක්  ඕනැද මසීනා? ’’ ඒ වදන් මුවින් මා සිතා මතා පිට කලා නොව මගේ උගුරෙන් එය බලෙන් මෙන් පිටවුණි.

‘‘මේ කරල දුන් දේවල් වලට වඩා ඔයා මට මොන උදව්වක් කරන්නද මිස්ටර් මාධව... ඇත්තටම ඔයා මට කියන්න මාව බැඳල, මේ දරුවො ඔයාගෙ වෙලා හිටිය නම් ඔයා මොනවද කරන්නේ කියල... එතකොට ජාත්‍යාලය වෙනුවෙන් ඔයාගෙ දරුවො වුණත් මරන්න කැරළි ගහනවද?’’

ඒ වදන් වලට මගේ පිළිතුරු පවා විමසීමට නොරැුඳී අඩුම තරමේ තේ පානය සඳහා හෝ නොරැුඳී ඇය සිය දරු දෙදෙන සම`ග පිටව ගියාය. මට කිසිදා විසඳිය නොහැකි උභතෝකෝටිකයක් ඉතිරි කොට ඇය පිටව ගියාය.

අතීතයේ දවසක් දා හැන්දෑවක ඇගේ රූපයෙන් වශීවී ඇයට පෙම්බඳින බව මා කි විට ඈ මා අවඥාවෙන් යුතුව නොසළකා හැරියාය. ඇගේ ඉමිහිරි රූපයේ හා අහිංසකත්‍වයේ විවිධ සේයාවන් අභිමුව මා තරුණයෙකු ලෙස බොලඳ සිතිවිළි අතර සිර වූවා විනා අනාගතයක් පිළිබඳ නොසිතූවේ විසි වයස් පූරුණ වූ තරුණයෙකුට ඇත්තේ සීමාන්තික පැතුම් ගොන්නක් නිසා විය යුතුය. මසීනාට මා පෙම් කලේ හෝ පේ්‍්‍රමය ප‍්‍රකාශ කලේ හෝ ඇය විවාහ කර ගැනීමට ඉදිරිපත් වූයේ හෝ අන්‍ධ වූ සෙනෙහසින් මිස එහි අනාගත ප‍්‍රතිවිපාක සැළකීමෙන් හෝ නොවේ. එහෙත් එය එසේ සිදුවී නම් මසීනාගේ සැමියා වෙනුවට එතන සිටින්නේ මා නොවේද? තමා අයිති ජාතිය තීරණය කර ගත නොහැකිව තම දරුවන් අයිති රට තීරණය කර ගත නොහැකිව වෙඩි උණ්ඩයට පෙර වස බීමෙන් මට මිය යන්නට සිදු වූවානම්. මගේ දරුවන් සුවසේ වැඩෙද්දී ඇගේ දරුවන් වේදනාවෙන් දිවි ගෙවිය යුත්තේ ඇය.

මගේ පුංචි පුත‍්‍රයා ගෙයින් පිටත මිදුලේ තනවා ඇති කුඩා පොකුණේ ඇති ජලය දැල් කූඩයකින් ගෙන වෙනත් බඳුනකට පුරවන්නට වෙර දරයි. ඔහු පිරවීමටත් පෙරම ජලය දැල් අතිරින් පෙරී ගොස් බිමට වැටේ. එය කෙතරම් අනුවණ ක‍්‍රියාවක් වුවද ඉන් ඔහු සතුටට පත්ව`ඇත. ඔහු විසින් පුරවා ගන්නා ජලය වැටීමෙන් බිම මඩ වී ඇත. ඔහුට සිය ජල බඳුන පිරවීමට නොහැකි වන බව දැනගත්විට ඔහු එය පසෙකට විසි කරනු නියති. මගේ සිත මහා පාළු මූසල හැ`ගුමකින් පිරී ඇත. මගේ හිස මත තිබූ බර දෙතුන් ගුණයකින් වැඩි කර තබා මසීනා නික්ම ගොස් සිටියා ය.

මසීනාගේ පුංචි පුතු විසින් අමතක කොට දමා ගොස් තිබූ හිස් පැළඳුම එවුන් සෙල්ලම් කල කාමරයේ පුටුවක් මත තිබී මම ඇහිඳ ගත්තෙමි. එය හිස පැලඳ කාමරයේ තිබූ කන්ණාඩියට එබුනෙමි. මගේ රුව අපැහිදිලිව ගොස් එහි මා සිතින් ඇඳගත් වෙනත් රුවක් මැවින්. එය මා කිසි දින නොදුටු මසීනාගේ සැමියාගේ යැයි මම අනුමාන කරන්නෙමි.














3 comments:

  1. ඔබගේ නිර්මාණ සඳහා අප ඉදිරිපත්කරන අදහස් (කමෙන්ට්ස්) පළනොකරන්නේ මංද?

    ReplyDelete
  2. ෂාහ් කියන්න දෙයක් නෑ අප්පා පර්පෙක්ට්.පපුව කඩාගෙන යන කතාවක්.

    ReplyDelete
  3. මේ සටහන මා වෙන කොහේ හෝ කියවා තියෙනවා. ඒ ඔබමද? එහෙම නැත්නම් මේ ඔඹ ලියන තවත් නමක්ද?

    ReplyDelete