Friday, August 14, 2015

නිරිත දිග මෝසමට ඇරියුමයි මේ ජනේලෙත් හඬවන්න.....!


නිරිත දිග මෝසමට ඇරියුමයි
මේ ජනේලෙත් හඬවන්න.....!!!








හිරු එළිය හොඳ වර්ණවත් කහපාටකින් දිලූනා. ඈත දියඹට වැටුණ අරුණාලෝකය දිලිසෙන ජලයේ වර්ණය ගොඩබිමට ගෙනාවා. ඒත්, අහස් වියන වහගෙන හිටිය අඳුරු වළාකුළු වල තිබුණ ශෝකය ගාලූ පොළොවට වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. තැනින් තැන සිදුරු වුණ අඳුරු පාට වළාකුළු අතරින් රත්තරන් ඉර එළිය පොළොවට වැටෙන හැටි දකින්න කිසි කෙනෙක්ගේ උනන්දුවක් තිබුනෙ නෑ. මං පුටුවෙන් නැගිටලා ගිහින් ජනේලය ඇරියා. ජනෙල් පියන අරිනවත් එක්කම ජනෙල් කණ්ඩිය උඩ තිබුන ‘‘පරේ බෙටි’’ ටික මගේ ඇහැ වැටුණා. ගඳක් සුවඳක් නැති පරෙයි බෙටි. ගාලූ කොළඹ පාරේ  ඕසෙට හෝන් ගහගෙන එහෙටයි මෙහෙටයි දුවන නා නා මාදිලියේ රථවාහන, තට්ටු හතරක් උඩ ඉඳන් බලනකොට පෙනුනේ ඇඟිල්ලකින් උස්සලා විසි කරන්න පුළුවන් තරම් පොඩි ඒවා විදියට. උදේ පාන්දරම ඉඳලම අහසේ තිබුණ අඳුරු වර්ණයන් ඔපලන හිරු කිරණට මං ස්තූතිවන්ත වුණා. තවම නවය පහුවුණා විතරයි. හතරවෙනි තට්ටුවේ ජනේල පේළියෙන් බැලූවම නගරසභා ශාලාවට එපිටින් පේන ලස්සන ඉන්දියන් සාගරේ නිල් පැහැය අද අවපැහැ ගැන්විලා. වැස්සක් ලඟම එන බව මං ඉඟියෙන් වගේ දැනගෙන හිටියා. ඉර එළිය තියෙද්දිම වැස්ස ඉක්මන් වෙන්න තීරණය කලා.

රථ පෙරහැර අතරින් ගාල්ලේ ඉඳන් කළුවැල්ල දිහාවට එක සීරුවට පාපැදිය පදින ‘‘හාදයා’’ ඇඳල හිටියෙ රෝස පාට කමීසයක්. ඉදිරියට නැමි නැමී පාපැදිය පැද්ද ඔහු නගර ශාලාව පහුකලා.

හදිසියේම නිරිතදිග මෝසමේ පොද පේළියක්....!

බයිසිකලේ පදින අතරෙම අර ‘‘හාදයා’’ පිටිපස්සේ ලැගේජ් එක දිහාවට හැරිලා ඇඟ හරවා හරවා, ලැගේජ් එකේ රබර් පටියකින් හිර කරලා තිබුණ කුඬේ එලියට ඇද ගත්තා. ඒ මිනිහ කුඬේ ඉහල ගත්තද මන්දා, කළුවැල්ල පැත්තට දිගටම පැද්දා. නගර ශාලාවට වැටුණ පිවිසුම් මාවතේ දුවගෙන ගිය කාන්තාව පෝටිකෝව යටදි තමන්ගේ ධාවන තරගය ජයග‍්‍රහණය කලා. කෝවිළ ඇතුළට දුවගෙන ගිය බල්ලා, කෝවිලේ මුරකරුගේ උදහසට ලක්වෙලා ආයෙමත් එළියට පැන්නේ වැස්සෙමයි.

වැස්ස වැටෙනකොටම මිනිස්සුන්ට  ඕනා වැස්සට නොතෙමී දුවල ගිහින් වැස්සෙන් බේරෙන්න. ඇයි ඒ කියන ප‍්‍රශ්නය මට හැමදාම හිතට ආවා. වැස්සෙ තෙමෙන එකේ සතුට අත්විඳල නැතුව ඇති...

කාර්යාල සංකීර්ණයේ වම් පැත්තෙ පිහිටපු හැම ජනේලෙටම හීනි හිරිකඩ වැටෙන්න පටන් අරගෙන. ඉන්දියන් සාගරය පිසගෙන හමා  එන අනුකම්පාවෙන් තොර සීතල මෝසම් සුළඟට ඒ හැම ජනේලයක්ම තෙමෙනවා. හැමෝම නැගිටලා තමන්ට අයිති ජනෙල් පියන් වහගන්නේ ඒකයි. මගේ ජනෙල් පියන පිහිටලා තිබුනේ සුළං මුවාවට වෙන්න.

සුදු මම්මව ඉස්පිරිතාලෙ නැවැත්තුව... ඔයැයිට පුළුවන්නෙ දවල්ට යන්න?

පින්දු කතා කරල කිව්වම මං කිසි උත්තරයක් දුන්නෙ නෑ. මං ගියත් නැතත් මං යාවි කියන විශ්වාසය ඇයට තිබුණා. පින්දු බැඳල දැන් අවුරුදු අටක් ඇති. ළමයි තුන්දෙනයි. සුදු මම්ම තමයි පින්දුගෙ ලොකු දරුවෝ දෙන්න බැලූවෙ. හදාවඩා ගත්තෙ. ඒත් ඇය ලෙඩ ඇඳට වැටුන එකම වතාවකවත් පින්දුට බැරිවුනා සුදු මම්මව බලන්න ඉස්පිරිතාලෙට යන්න. එක්කො දරුවෝ තියල එන්න තැනක් නෑ. එක්කෝ උන් ලෙඩ වෙලා. ඒ හැම වෙලාවකම මට සිද්ධ වුණා සුදු මම්ම වෙනුවෙන් ඉස්පිරිතාලෙ නවතින්න. බලාකියා ගන්න. පින්දු මට වඩා අවුරුදු පහක් විතර බාල ඇති. ඉස්කෝලෙන් අස්වෙලා රස්සාවක් හොයාගත්ත ගමන්ම බැන්ඳ. ඒ මං රස්සාවට ගිය අලූත.

වැස්ස ටිකක් විතර තුරල් කලා. මිසිස් සේතුංග ආවෙ වැස්ස ටිකක් අඩු වුණාට පස්සෙ. මේනකාටයි, මයන්තිටයි, එයාලගෙ එදිනෙදා කතා ටික හුවමාරු නියම කරගන්න වෙලාව මේක. එයාල දෙන්න ඒක කරන්නෙ සාමාන්‍යයෙන් උදේ කෑමෙක කන වෙලාවට. ඒත් අද ලොක්ක නැති නිසා දෙන්නම හරිම සැහැල්ලූවෙන් කෑම මේසෙට වාඩි වෙලාම කතාව. හැමවෙලාවෙම අනංගයගෙ චරිතෙ රඟපාන වසන්ත ලිපි ගොනුවක් දිගෑරගෙන වැඩ.

‘‘දවල් වරුවෙ ලෙඞ්ඩු බලන වෙලාවට යන්න  ඕන’’

අපි පුංචි කාලෙ සුදු මම්ම තමා අපිව බලා කියා ගත්තෙ. අපේ අම්ම රස්සාව කළේ මහමෝදර ඉස්පිරිතාලෙ. රැුයක් දවාලක් නැතිව එයා වැඩ කරද්දි තාත්තත් නැති අපිව බලාකියාගත්තෙ සුදු මම්ම. මම්ම බැන්ඳෙ නෑ. ඒ වගේම ඒ ඇයි කියල අපි එයාගෙන් කවදාවත් ඇහුවෙ නෑ. එයා ඒ ගැන අපි කා එක්කවත් කතා කළෙත් නෑ. මම්ම තමයි හැමෝගෙම උදව්වට පදව්වට හිටිය කෙනා. නංගි ඉතිං නිදහස්නේ... හැමෝම කිව්වෙ එහෙමයි. මම්ම හැමදේම උපේක්‍ෂාවෙන් දරාගත්ත. කවදාවත් කිසිම කෙනෙක්ට ගතු කිව්වෙ නෑ. අපේ අම්ම වැඩ ඇරිල එද්දි අපේ වැරදි කිව්වෙ නෑ. පින්දුගෙ වැරදි මටවත් මගේ වැරදි පින්දුටවත් කිව්වෙ නෑ. අපි එකිනෙකාගෙ වැරදි එකිනෙකාට කිව්වෙ නෑ. නංගි රස්සාවට ගිහින් ගෙදර යද්දි ළමයින්ගෙ වැරදි එයාට කිව්වෙ නෑ. එයා ජීවත් වුණේ එයාටම හැරිල. එයාගෙ අභ්‍යන්තරයටම විවෘත වෙලා. සමහර වෙලාවට අපිට කොයිතරම් එයා එක්ක කතා කරන්න  ඕන වුණත් මම්ම කළේ එයාගෙ කාමරේට වැදිල පොතක් හරි පත්තරයක් හරි කියවපු එක. මට නම් එහෙම තමාගෙම අභ්‍යන්තරයට විතරක් විවෘත වෙන්න බැරි තරම් වේදනාවල් ඇති වුණා පින්දුගෙ වැඩත් එක්ක.  

පොඩි එකා පාපන්දුව පයේ පැටලිලා බිම වැටුණා. බෝලෙ උගෙන් ඈතට ගියා. ඌ බැලූවා කවුද තමන් දිහා බලන් ඉන්නෙ කියලා. බස්එකේ වාඩිවෙලා මං ඒකා දිහා බලා හිටිය බව ඒකා දන්නෙ නෑ. ජනාකීර්ණ ගාලූ නගරයේ ඉබාගාතේ ඇවිදින පවුලක ළපටි දරුවෙක්. ඒ දරුවගේ ඇªම් පැළඳුම්, නිරුවත් දෙපා, සිතිවිලි අතරේ මාව තනිකළා. මං ඉඳගෙන හිටියෙ හරියටම පිටිපස්ස දොර ලඟම තියෙන ආසනයේ. ඉස්සරහ බැලූවම දිගටම තියෙන හැම ආසනේකම වගේ මිනිස්සු වාඩිවෙලා හිටියා. ඉඳහිට තැනක ඇරෙන්න. මට ඉස්සරහ ආසනේ වාඩිවෙලා හිටිය මැදිවිය ඉක්මවපු කාන්තාව බොහොම පැහැපත්. ඒ වගේම පුයර තවරලා තොල් සායම් ආලේපනය කල ඒ මුණට  ඕනෙනම් අවුරුදු හනස් පහක් කිව්ව හැකි. දකුණු පැත්තෙන් ගාලූ කොටු පවුර අඳුරු සිනාවක් එක්ක, වම් පැත්තෙන් අලූතෙන් ඉදිවෙන - නිරන්තරේ වෙනස් වෙන ගාලූ නගරය. විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ ඉස්සර ගාල්ලට ඇවිත් බස් එකෙන් බහිද්දි දැනුන ආදරණීය හැ`ගුම දැන් නිතර නිතර ඇහැ ගැටෙන නිසාදෝ මට අද දැනෙන්නෙ නෑ. ඒත්  කොහේ ඉඳල ගාල්ලට ඇවිත් බැස්සත් පළමු පෙම්වතා දකිනව වගේ ආදරයකින් මේ නගරයට මගේ හදවත බැඳෙනවා. නගරයේ ඉඳල කොටු පවුර දිහාවට ඇවිදගෙන යන සංචාරකයෝ අතරේ නිරිතදිග මෝසම ඇරඹෙන වකවානුවෙදි වැඩියෙන් දකින්න ඉන්නේ අග්නි දිග ආසියානු සංචාරකයින්. යුරෝපීයයන් හිඟයි.

මැස්සා ආයෙත් ඇගේ ඇෙ`ග් වැහුවා.....ෟ

ඒක හරිම සාමාන්‍ය සිදුවීමක්. ඒත් මට ඉදිරි අසුනේ හිඳවුන් කාන්තාව මැස්සා තමන්ගෙ ඇෙ`ග් වහන්නෙ නැතිව එලවා දමන්න කිහිප වතාවක්ම උත්සාහ කළා. සමහර මැස්සෝ අපි කොච්චර එලෙව්වත් අපේ වටේම කැරකි කැරකි ඉන්නවා යන්නෙ නැතුව. කාන්තාව අපහසුවට පත් වුණේ ඒකයි.

අතීතයයි වර්තමානයයි අතරේ පුංචි හරි හිඩසක් ඇතිවුණොත් දම්මික ඒකෙන් සිතිවිලි අතරට පැන ගන්නේ හරිම පුංචි නිමේෂයකින්. මූණෙ වහන්න දඟලන මැස්සෙක් වගේ. අපි එකිනෙකා අත් පටලවාගෙන ඇවිද්ද අනාගත හීන දැක්ක අතීතය මොහොකින් වර්තමානය වෙනවා. ඒත් අනාගතය වෙන්නෙ නෑ. දළවැල්ල පැත්තෙ පදිංචි වෙලා හිටිය දම්මිකට අම්මල අකැමැති වුණේ එයැයිගෙ කුලේ අඩුපාඩු කම් කියලා. දම්මික කිව්වෙ එකම දෙයයි. ‘‘ඒක මට මගේ තාත්තගෙන් ලැබිච්ච දේ. ඉතින් මට ඒක ලොකු ගෞරවයක්’’ කියලා විතරයි දම්මික ගැන ගෙදර ඇතිවුණ වචනෙකදි හරි මගේ පැත්තට හිටියෙ මම්ම විතරයි. ගරා වැටිච්ච  ඕලන්ද පැන්නයේ ගෙට බදාම කපරාරු කරන්නටවත් වත්කමක් නොතිබුණාට, අම්මට දම්මිකගේ අඩුපාඩුව හොඳට විශ්ලේෂණය කරන්න පුළුවන් තරම් හැකියාවක් තිබුණා. අපේ පරම්පරාවයි දම්මිකගේ පරම්පරාවයි මූණට මූණ සටන් කරද්දි පරාද වුණේ අපි දෙන්න.

දම්මික විදේශ ගත වුණේ මේ ප‍්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන එන්න. ඒත් එයා ආයෙත් ආවෙ නෑ. එයින් අවුරුදු කීපෙකට පස්සෙ දම්මික විවාහ වුණා. ඒ අපි දන්න කියන අපේ ලඟම නෑදෑ පවුලකම ගෑණු ළමයෙක් එක්ක. සමහරවිට අපිට රිද්දන්න වුවමනාවකුත් තියෙන්න ඇති. ඒකෙන් රිදුනා තමයි. ඒත් දම්මික බැඳලත් ගොඩක් කල් යනකං මට එහෙම සිතිවිල්ලක්වත් ආවෙ නෑ. මට දැනුණෙ මං මොකක්දෝ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඔහේ ජීවත් වෙනවා කියලා විතරයි. ඒ කාලෙ මං අවසන් විභාගෙට ලියලා ගෙදර ඉන්නවා.

ගහෙන් ගෙඩි එන්න වගේ සිද්ධවෙච්ච දම්මිකගෙ මඟුල ආරංචි වුණ වෙලාවේ අපේ අම්ම හරිම ආවේගශීලී වුණා. ඒත් ඊට ටික වෙලාවකට පස්සේ එයාට ඒක සරදමක් වුණා. එයිනුත් දවස් තුනකට පස්සේ එයාට ඒක අමතක වුණා. අපි ආයෙත් සාමාන්‍ය ජීවිතේටම වැටුණා. උදේට නැගිටිනවා, එක්කෙනෙක් අවුරුදු ගාණකට කලින් හදපු  ඕලන්ද විලාසිතාවේ පරණතාලේ ගේ අතුගානවා, තවකෙනෙක් කෑම උයනවා - කනවා, පින්දු ඉස්කෝලෙ යනවා, අම්ම කඬේට ගිහින් පත්තරේ ගේනවා, මාළු කාරයා ආවම සුදු මම්ම හට්ටියක් අරන් පාරට යනවා, ‘‘සුදු මාළුද, රතුමාළුද ගන්නේ’’ කියලා පාරේ ඉඳලම කෑගහල අහනවා, ඊට පස්සේ දවල්ට උයනවා - කනවා, පින්දු ඉස්කෝලෙ ඇරිලා එනකල් පාර බලනවා, හවසට සුදු මම්ම ඔය මොනවාහරි කෑමක් හදනවා, අපි දෙන්න කනවා, ඊට පස්සෙ ? කෑම කාලා බ්ලැකියව ලිහලා නිදාගන්න යනවා. අම්ම වැඩට යන දවසට රාජකාරි බෙදෙන විදිය වෙනස් වෙනවා, ඒත් ඔය රාජකාරි ටිකම තමයි කරන්න තියෙන්නේ.

දම්මික එක්ක මට තිබුණේ අතෑරගන්න බැරි තරම් ලොකු සෙනේහයක්වත් නවකතා පොත් වල තියෙනවා වගේ ආදරයක්වත් නෙවෙයි. මං හිතන්නේ මගේ ස්වභාවයෙන්ම මං කිසි කෙනෙක් එක්ක ගැඹුරු සම්බන්ධකම් පවත්වන කෙනෙක් නෙවෙයි. එයා නැතිවුණා කියල මට ඒ දුක දරාගන්න බැරි වුණේවත්, මගේ ජීවිතේ කිසිම දෙයක් වෙනස් වුණේවත් නැහැ. ඒත් මං විවාහ වෙන එක ටික ටික පස්සට යනකොට, අම්ම හොයපු විවාහ යෝජනා වලට මං අකැමති වෙනකොට පින්දුයි අම්මයි දෙන්නම හිතුවෙ මං දම්මික ගැන හිත හිතා ඉන්නව කියලා. දන්න දන්න නෑදෑයින්ටත් පින්දු හරි අම්ම හරි ඔය කතාව කියපු වෙලාවක් ආරංචි වුණාම මං කේන්ති ගත්ත වෙලාවලූත් නැති වුණා නෙවෙයි. ඒත් මං පින්දුටවත් අම්මටවත් ඒක එහෙම නෙවෙයි කියලා කිව්වෙ නෑ. අනික් පැත්තෙන් හිතුවොත් දම්මික සම්බන්ධ වුණ හීන තවමත් මගේ හිතේ ඉතිරිවෙලා තිබුන නිසාදේ ඔහුව මට වෙලාවකට නොනවත්වාම මතක් වුණා.   

ආයෙත් මැස්සා පියාඹලා වෙන කෙනෙක් ලඟට ගියා... කාන්තාව කවුළුවෙන් එළිය බැලූවා.

මම්ම හිටියෙ ඉස්පිරිතාලෙ අටවෙනි වාට්ටුවෙ. මං දැක්කම මම්මගෙ ඇස් වල අමුතුම එළියක් පැතිරුණා. සුදු මම්මට නොයෙක් විදියේ ලෙඩ තිබුණා. ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්, මේ හැම දේම. ඉතාම අමාරු වෙලාවක ඇරෙන්න එයා ඒ හැම අමාරුවක්ම අපෙන් වසන් කලා. මට ජීවිතෙන් අවුරුදු තිස් පහක් යනකල්වත් සුදු මම්මගෙ ජීවන චර්යාව තේරුම් ගන්න බැරිවුණා. පින්දු නම් ඒකට කිසිම මහන්සියක් ගත්තෙ නෑ. එයාට වෙන වැඩ  ඕනවටත් වඩා තිබුණා. කතා කරන්න තරම් ලොකු දෙබස් ගණනාවක් නොතිබුණ විනාඩි විස්සකට පස්සෙ මම්මා එයාගෙග හඬ අවධි කලා.

ලොකූ ආපහු ඔෆිස් යනවයි..

ඇයි මම්ම ගාව කවුරුවත් නවතින්න  ඕන්නැතෙයි?

 ඕන්නෑ... ලොකූ යන්න.. බොරුවට නිවාඩු දාන්න එපා...

පින්දුට එන්න බැරිවෙයි. මං ඉන්නං.  ඕක ඉතින් ඒ හැටි දෙයක් යැ මම්මෙ... 

ලොකූ තාම පමා නෑ... මං වගේ ඉන්නැතුව ඉක්මනින් කසාදයක් කරගන්න... මේ සැරෙත් පත්තරේ දාමු... නැත්නම් ඔයත් මං වගේ අනුන්ගෙ පිහිටෙන් ජීවත් වෙලා මැරිල යාවි.

ඇය එක සැරේටම කිව්වෙ කිසිම සම්බන්ධයක් නැති කතාවක්. අවුරුදු ගාණක් අපි එකට එක විදියේ ජීවිත ගෙවලත් මම්ම කවදාවත් මං එක්ක ඒවගේ දෙයක් කතා කළේ නෑ. මං ඇගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වුනෙත් නෑ.

තමන්ගෙම පවුලක් තියෙනකොට හැමකෙනාම සුරක්‍ෂිතයි ලොකූ....

මම්ම කිව්වෙ එච්චරයි. මං නම් මොකුත්ම කිව්වෙ නෑ. මොනවද කියන්න  ඕන කියල මට හිතට ආවෙ නෑ. පවුලක් විමේ අවශ්‍යතාවය, පවුලක් ඇතුළේ තියෙන ආදරය, සුරක්‍ෂිත කම, වගකීම් ගැන මටත් ආශාවක් නොතිබුණා නෙවෙයි. ඒත් මට ඒකට ලොකු උනන්දුවක් තිබුණෙවත්, හිතේ ඇඳුන විදියේ කෙනෙක් ලැබුනෙවත් නෑ. ‘‘බඳින්න  ඕන වුණා කියලා ඔය අහක යන කුණු ගොඩක් කරේ ගහගන්න බෑනෙ’’ කියල මං දවසක් පින්දුට කිව්වෙ ඉමදූවෙන් ආව යෝජනාවක් ගැන විස්තර අහලා ඒ මනුස්සයගෙ රස්සාව හොඳ මදි නිසා. කාලය ඉක්මනින්ම ගෙවිල යන්නෙ, අපි හිටපු තැනම හිටපු විදියටම ඉන්නකොට.

මං ආපහු කාර්යාලයට එනකොටත් බොහොම දෙනා තමන්ගේ පුටු වලට වෙලා නොයෙක් කතා කියමින් හිනා වෙවී හිටියා. සමහරු තමන්ගෙ දරුව ඉස්කොලෙන් අරගන්න ගිහින්. ඉතිරි වෙලා හිටිය කීපදෙනා ඒ අයගේ පවුල්වල විස්තර කතා කරනවා. මං හෙමින් ඇවිදගෙන ගිහින් මගේ පුටුවේ ඉඳගත්තා. තවත් විනාඩි කීපෙකින් ආයෙමත් නිරිතදිග මෝසම. මගේ ජනේලෙ පුරා තැන තැන කිළිටිවෙලා. ඒ අපිරිසිදු විදුරුවෙන් එහා වැසි වැටෙන සීරුව මට හොඳට පෙනුනෙ නෑ. අපැහැදිලියි. ඒත් ගාලූ අහසින් සීතල වැහි කැට මහපොලෙවට වැටෙන හැටි මං හිතෙන් මවා ගත්තා.

‘‘හෙට අනිද්දට කාට හරි කියලවත් මේ ජනේලෙ හෝදව ගන්න  ඕන.’’








නදීශා දිල්රුක්‍ෂි ගමගේ


No comments:

Post a Comment