Monday, November 18, 2013

තිත්ත කෝපි






මම මා ඉදිරිපස මේසය මත සීරුවට තබා ඇති කෝපි කෝප්පයේ වර්ණයත් සුවඳත් අත් වින්දෙමි. 



               අනේ සොරි මිසිස් දෙනිපිටිය ....මම කෝපි බොන්නෙ නෑ...

    මා පැවසූ මොහොතේ දෙනිපිටිය මහත්මිය ගේ දෙනෙත් මත විශ්මයාර්ථයක් සැ`ගවුණ බැල්මක් ශේෂ විය.  එසේ ප‍්‍රකාශ කොට පැය විසිහතරක් යන්නටත් මත්තෙන් මා ගිමන්හලකට වී කෝපි බඳුනක් ඉදිරිපිට වාඩි වී සිටින ආකාරය මිසිස් දෙනිපිටිය දුටුවා නම්, ඇය මා කෙරේ කොපමණ වැරදි චේතනාවන්ගෙන් යුක්ත වනු ඇත්ද?

     වසර විසි නමයක් පුරා ඉතාලියේ දිවි ගෙවන මමත් මගේ බිරිඳ හා දරුවනුත් ලංකාවට පැමිණ ඇත්තේ ගැණිය හැකි තරම් අඩු වාර ගණනකදී ය. සිය උසස් අධ්‍යයාපන කටයුතු පිණිස එක්සත් රාජධානියේ ගතකල කාළයේදී ඇති කර ගත් පේ‍්‍රම සම්බන්‍ධයක් මත, මගේ වැඩිමහල් පුත‍්‍රයාගේ විවාහ මංගල්‍යය ස්ථීර වූයේ පසුගිය මාසයේදී ය.  ඇය සිංහල යුවතියක් වූ හෙයින්, මගේ මෙන්ම මගේ බිරිඳගේද හදවත් බොහෝ සේ සතුටුවූ බව, අපි නොවළහා පිළිගත්තෙමු. ඒ හේතුවෙන් මමත් මගේ බිරිඳත් ඇතුළුව, අපි සියළු දෙනා ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය වෙනුවෙන් ලංකාවට පැමිණියෙමු.

     බොහෝ කලකට පෙර  සිදුවූ අපගේ විවාහයෙන් පසු, මගේ බිරින්දෑ කිහිපවරක්ම නැවත ලංකාවට පැමිණියද මා එසේ පැමිණියේ අවස්ථා තුනකදී පමණි. බිරිඳගේ දෙමවුපියන්ගේ අවමංගල්‍ය අවස්ථාවන්හිදී හැරුණ විට, වසර කිහිපයක් පුරා මා හදාවඩාගත් ළමා නිවාසයේ පාලිකාවගේ ඉමහත් කැමැත්ත අනුව, ඒ වන විට බොහෝ සේ වියපත්ව සිටි ඇගේ, අලූත් ළමා නිවාසයේ විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් ආදී වශයෙන් අවස්ථා තුනකදී පමණක් මම නැවත ලංකාවට පැමිණියෙමි. කිසිවක් නැති අනාථයෙක් සේ ඇගේ සෙවණේ මා හැදී වැඩෙද්දි නොදැක්වූ අසීමිත ආදරයක්, මා වැඩිහිටියෙකු වු විට, මා විදේශ රටක පුරවැසියෙකු වූ විට, මාගේ ආර්ථිකය ස්ථීර වූ විට, ඇගෙන් ලැබීම මට මහා ප‍්‍රහසනයක් ලෙස මිස, සතුටක් ගෙනා කාරණයක් ලෙස කිසිදිනක නොදැනුණි.  

      මේ මා ලංකාවෙන් පිටව ගොස් සිට නැවත පැමිණි හතරවන අවස්ථාවයි.  අනාථ නිවාසයක හැදී වැඩුන මට මගේම නිවසක් නොවූ හෙයින් මෙහි පැමිණි සෑම අවස්ථාවකදීම නවාතැන් ගැනීමට සිදුවූයේ බිරිඳගේ මහගෙදරයි. මා දෙමව්පියන් අහිමි නමුත් විදේශීය පුරවැසි භාවය සතු පුද්ගලයෙකු වීම පිළිබඳ වැඩි සැළකීමක් දැක්වූ කොළඹ මධ්‍යම පාන්තික පැවැත්මක් ඇති දෙමවුපියන් ‘‘සරළා’’ මා හට විවාහ කර දුන්නේ මගේ පවුල් පසුබිම හෝ අනාථ භාවය පිළිබඳ නොතකමිනි. බොහෝ කලකට පෙර ලංකාවේ සිටියදී දුටු ඒ සොඳුරු බද්‍ර යෞවනිය අත පැතූ මොහොතේ, ඇගේ අකැමැත්තක් නොවූයේ මා කෙරේ උපන් අනුකම්පාවෙන් විය යුතුය. මා නේවාසිකව සිටි ළමා නිවාසය පාලනය සිදු කරන ලද පල්ලියේ කිතුනු බැති ගී ගැයීමට පල්ලියට ආ අවස්ථා බොහොමයකදී ඇය මට මුණ ගැසී ඇති මුත් වසර ගණනක් යන තෙක් වදනක් හෝ නොදෙඩුවාය. ඈ මා කෙරේ බැඳීමට ප‍්‍රධාන හේතුව වන්නට ඇත්තේ මා අනාථයෙකු වීමයි. ගෙවී ගිය බොහෝ අවස්ථාවන් අතරේ වුවද අනාථයෙකු ලෙස දරුවන්ගේ පවා අනුකම්පාවට ලක් වෙමින් මට දිවි ගෙවන්නට සිදු විය. මගේ අතීත මතක විමසමින් ඔවුන් මා කිසි විටක නොවෙහෙසවන ලද්දේ ඒ අනුකම්පාවෙන් විය යුතුය. දරු තිදෙනෙකු ලැබීම, ජීවිතය සෙමෙන් සෙමෙන් අතීතයට එක්වූ මතකයන් ගොන්නක් බවට පත්වීම, ජීවන බර අතරේ මා වියපත්ව ඇති බව මට හැෙ`ගන්නේ, මගේ පුතුන් දෙදෙනාගේ හා දියණියගේ තරුණ ජවසම්පන්න මුහුණු දකිනා විටදීය. 

         දෙටු පුතු විවාහාපේක්‍ෂිත තරුණියගේ නිවස පිහිටා ඇත්තේ ගාල්ල, මාතර ප‍්‍රධාන පාරේ කඹුරුගමුව ප‍්‍රදේශයට ආසන්නවය. ඊයේ දවාලේ ඔවුන්ගේ නිවසට අප පැමිණියේ අළුත් නෑකම් වර්ධනය කර ගැනීමත්, මුහුදු වෙරළට වී විනෝදයෙන් ගතකිරීමත් යන අරමුණු පෙරදැරිවය. සැඳෑවේ අල්ලාප සල්ලාපයන් අතරේ මාගේ අනාගත ලේලිය ගේ මව වන දෙනිපිටිය මහත්මිය අපගේ පූර්ව අනුදැනුමකින් තොරව ම කෝපි සාදාගෙන ආවේ සිනා පිරි මුහුණකින් යුතුවය. මා එය පිළි නොගත් බැවින් ඇගේ සිත රිදීම අස්වසාලූයේ මගේ බිරිඳ විසිනි.

           එයා කවදාවත් කෝපි බොන්නෙ නෑ....එයාට කෝපි තිත්තයිලූ... මම බොනකොට ඒකටත්  තරහයි....

මට කෝපි තිත්ත යැයි ඇය සිතයි. මම ඇගේ සිතැ`ගි වලට ඉඩ හරිමි. වෙනත් කිසි කෑමක් හෝ බීමක් ප‍්‍රතික්‍ෂේප නොකරන පුද්ගලයෙකු වශයෙන් මා මෙසේ දැඩිව කෝපි පානය ප‍්‍රතික්‍ෂේප කරන්නේ මන්දැයි මටද විටක විශේෂ වැටහීමක් නැත. අනෙක් අතට ඉතාලි ජාතිකයන් අතරේ බොහෝ සුප‍්‍රසිද්ධ වූත්, අධික සීතල දේශගුණයට මනා සේ ගැලපෙන්නා වූත්  කෝපි පානයෙන් මා බැහැර වීම ඔවුන්ට විශ්මයකි. 

          තාත්තිට කෝපි තිත්ත වෙන්ට හේතුවක් ඇති... නේද තාත්ති... 

   මම ඇගේ කතාවෙන් සසැළී ගියෙමි. මෙතෙක් කිසි දිනක මගේ දරුවන් හෝ නොඇසූ මෙවන් පැනයකින් මා කෙතරම් අපහසුවකට පත් වීද? ඒ මොහොතේ මම කිසි පිළිතුරක් නොදී සිනා පිරි මුවින් යුතුව හිඳ වුන් තැනින් නැ`ගී සිටි අයුරු මට මතක් විය. 

    ඒ සිදුවීමෙන් පසු පැය විසි හතරක් ගෙවීමටත් මත්තෙන්, මේ මොහොතේ මම දෙනියාය අකුරැස්ස පාරේ කුඩා අවන්හලකට වී කෝපි බඳුනක සුවඳ විඳිමින් සිටින්නෙමි. හේතුවක් නොපවසාම මම උදෑසනින්ම නිවසින් පිට වූයේ බිරිඳට ‘‘පොඩි වැඩකට යනවා’’ කියමිනි. මගේ අයහපත් සෞඛ්‍යය තත්‍වය පිළිබඳ සැලකිලිත් වූ ඇය පුතු කැටුව යන මෙන් මට කෙතරම් කීවද, මා තනිවම නිවසින් පිට වූයේ අප කොළඹ සිට පැමිණි බිරිඳගේ නෑදෑයෙකුට අයත් මොටර් රථයේ නැ`ගී ගෙනය. 

වසර ගණනාවකට පෙර මා ඉඳහිට පැමිණ ඇති මට පුරුදු මං මාවත් සියල්ල වෙනස් වී ඇත. අළුත් සංවර්ධන ක‍්‍රියාවලීන්ගෙන් අත්පත්ව ඇති බොහෝ වැදගත් දේවල් අතරේ මුල්තැන් ගන්නේ මෙසේ මංමාවත් සියල්ල වැඩි දියුණු වී තිබීමයි. හදිසියේ වසර ගණනාවකින් ලංකාවට පැමිණෙන්නෙකුට සොයා ගැනීමට හෝ නොහැකි ලෙස බොහෝ අළුත් මුහුණුවරක් මේ හරහා සිය රටට අත්වී තිබීමෙන් මම මඳ සතුටකින් ඔඳ වැඞී සිටියෙමි. එසේ වාහනයේ ගමන් කරමින් සිටියදී ‘‘ද කොෆි ෂොප්’’ යනුවෙන් නම් කර තිබී අවන්හලක් ඉදිරිපිට මෝටර් රථය නැවැත්වූ මම එහි ඇතුළු වූයෙමි. 

            තාත්තිට කෝපි තිත්ත වෙන්ට හේතුවක් ඇති... නේද තාත්ති... 

    මම නැවතත් මගේ අනාගත ලේලිය ගේ වදන් සිහි කලෙමි. ඈතන් පෙනෙනා තේ වතු පරයා කඳු වළල්ල අහස දෙසට දුව ගොස් එහි අතුරුදන්ව ඇත. මම කෝපි කෝප්පයක් ඇනවුම් කළෙමි. වේටර් වරයා මේසය මත තබා ගිය කෝපි කෝප්පයේ ඇත්තේ පහතරට කෝපි වලින් වහනය වන ආවේණික කෝපි සුවඳකි. කෝපි කෝප්පයේ සුවඳ අතරින් මම දෑස් පියාගෙන එක් මුහුණක් දෑසේ ඇඳ ගත්තෙමි. 

    මනෝරම්‍ය ඒ රූපය මේ ලොව මා දුටු, මෙතෙක් දැක ඇති, අති සුන්දරතම රූපය බවට විවාදයක් නොමැත. ඉක්මනින් සිතේ ඇඳ ගත හැකි නමුත් ඒ රුව බොඳ වී ගිය මතකයක් බවට පත්වී ඇත. කෙසේ වුවද, රූපය පැහැදිලි නැතත් එහි දෑස් යුග මට මඳක් හෝ අමතක නොවේ. ඒ දෑසේ මා වෙනුවෙන්ම පමණක් ඉපදි, ඉපදී මිය ගිය ආදරේ උතුරන බැල්මක්, අපිරිමිත කරුණාවක්, සෙනේවන්ත දයාබර බවක් ඇති බව මම අදත් අදහන්නෙමි. ඇය තරම් මට වෙනක් ගැහැණියක පෙම් කර නොමැත. අවසන් වරට මා ඈ දුටු දවසේ, ඇය සිය දෑතින් දරාගෙන කෝපි කෝප්පයක් මා වෙත ගෙනා ආකාරය මට නැවත සිහි විය. මා කුඩා කාලයේදීත්, සුහුඹුල් තරුණ සමයේත් බොහෝ රුචියෙන් රස බැලූ කෝපි කොප්පය, මගේ ප‍්‍රියතම පානය, ඇගේ දෑතේ තිබූ කෝපි කෝප්පය.... ‘‘තරහ අමතක කරල මේක බොන්න මගේ වස්තුවේ...’’ කියා ඈ මා වෙත පෑ කෝපි කෝප්පය. ඒ මොහොතේ ඒ ආදරය මට ඇති කල ජුගුප්සාජනක හැ`ගීම. ඇය මා ඇගේ මිහිරි වදනින් රවටමින් සිටින බව මගේ සිත මට කී අයුරු. පාලනය කර ගත නොහැකි වු අධික කෝපය.... ඒ හේතුවෙන්ම ඇගේ අතේ තිබූ කෝපි කෝප්පය ගෙන, මා ඇගේ මුහුණට දමා දැසූ හැටි. ‘‘මගෙ අම්මෝ’’ කියමින් ඈ සිය දෙනෙත් දෑතින් වසාගෙන කෑ ගැසූ හැටි, මා මගේ මේසය මත තිබූ ඉතිරි කර ගත් යම් මුදලක් අතේ ගුලි කර ගෙන දොරින් එළියට පැන මාවත දිගේ දිව ගිය හැටි.  මාතරට, මාතරින් කෝච්චියේ පානදුරේට, එතනින් එහාට යාමට මුදල් නොමැතිව පයින් ඇවිද ගිය හැටි මතක් කර ගැනීමට මට ඒ හැටි අපහසුවක් නොවීය. ඈ ජීවතුන් අතර සිටියත් ඇගේ දෙනෙත් අන්‍ධව ඇතැයි යන හැ`ගීම, එයින් ඉපදී ඇති භීතය හා වේදනාව. මා වරද කරුවකු ලෙස මගේ හදවතින්ම ලබා දී ඇති ද`ඩුවම  මිස, කෝපි කෝප්පය මගේ දෙතොලට තිත්ත වීමට වෙනත් හේතුවක් නොමැති බව මම පිළිතුරු වශයෙන් මගේ හදවතට ලබා දුන්නෙමි. 

     මා ඉදිරිපිට ඇති කෝපි කෝප්පය දැන් නිවී ගොස් ඇත. මම එය නැහැයට ලං කර සුවඳ උරා ගත්තෙමි. මා බොහෝ සේ ප‍්‍රිය කල සුවඳ හද පුරා වින්දෙමි. ඒ සීතල කෝපි කෝප්පයෙන් උගුරක් හෝ නොබී එය හැරදමා ඉන් මොහොතකට පසු මගේ ගමන් යළි ඇරඹුනේ යම් අරමුණකින් මා නැවතත් මෙහෙයවන්නට වූ හෙයිනි. ඒ ම’විසින් කෝපි කෝප්පයෙන් දමා ගැසූ බලාපොරොත්තු රහිත වේදනාවෙන් පිරි මුහුණ දැක ගැනීමේ අරමුණ යි. සමහර විට ඇය හා හඳුනා නොගනු ඇත. ඇය අන්‍ධවී ඇත්නම් ඇයට  කොහෙත්ම මා දැකීමට නොහැකි වනු ඇත. එහෙත් මා දැන් තෝරා ගත යුත්තේ ඒ වේදනාවේ මිහිර ඉවසීමයි.

      දෙනියාය නගරයට කිලෝමීටර් කිහිපයකට පෙර මුණ ගැසෙන වම් පසින් ඇතුළට දිවයන එදා තිබූ බොරළු පාරට අද හොඳින් තාර වැටී කාපට් වී ඇත. ඉනුත් කිලෝ මීටර හතරක් පමණ දුරක් ගිය විට දකුණු පසට දිවෙන රතු ගුරු පාරට අද කොන්ක‍්‍රීට් වැටී ඇත. මම අතීත සැමරුමක් සොයමින් වෙහෙසුනෙමි. පෙරදා කඩයක් පමණක් තිබූ තැන දැන් ගෙවල් කිහිපයකි.  මගේ නෙත් වෙහෙසවා වෙහෙසවා මා සළකුණක් ලෙස සොයා ගත්තේ, කුඩා කල කොලූ කුරුට්ටන් හා අකුරු කිරිමට ගිය කුඩා පාසලයි. පුංචි කඳු ගැටයක් මත තනා ඇති එය පෙර දින තේ වතු ලැයිම් වල විසූ  දෙමළ දරුවන්ටද දැනුම දුන්, මේ ප‍්‍රදේශයටම තිබූ එකම පාසලයි. අලූත් නාම පුවරුවක් හා ගෙඩනැගිල්ලක් හැරුණ විට එහි වෙනත් වෙනසක් සිදුවී නොමැත. ඉඳින් මම නිමිත්තක් සොයා ගත්තෙමි.

      මගේ මතකයේ තිබූ සෑම නිවසක්ම කෙතරම් වෙනස් වී තිබුණත් මා සොයා ආ නිවස කිසිදු වෙනසකට ලක් නොවී ඒ ඉපැරණි පෙනුමෙන්ම එහි විය. ඉදිරිපසින් ඇති විවෘත ඉස්තෝප්පුව, දෙපසින් වහලය වෙතට දිව යන ලී කණු යුගල. ඉස්තෝප්පුව වට කොට බඳින ලද කෙටි බැම්ම. ඒ මත හිඳ කණුවකට හේත්තු වී පොත් පත් කියවූ අතීතය මම මතක් කළෙමි. කපරාරු කල තැන් බොහොමයක් ගැලවී ගඩොළු මතු වී ඇතත් තවමත් කිසිවෙක් මෙහි නිවසනා බවට සළකුණු බොහොමයක් විය. වෙලාව උදෑසන දහය පසු වී තිබුනත් මිදුල අමදින්නට ඇත්තේ මේ දැන් පැය කිහිපයකට පෙර බවට සළකුණු එහි විය. නිවසේ දොර වසා තිබුණෙන් මම උස් හඩින් ‘‘ගෙදර කවුදැ’’යි ඇසුවෙමි. ඊට ප‍්‍රතිචාරය ලැබුණේ ඒ නිවසට යාබදව ඉදි කර තිබූ නව නිවසෙන් පිලිපන් අවුරුදු හත අටක පමණැති පිරිමි දරුවෙකුගෙනිි. ඔහු විමතියෙන් මා දෙස බලා සිටියා විනා මගේ පැනයට පිලිතුරු දීමට තරම් එඩිතර එකෙකු නොවීය.

                මේ ගෙදර කවුරුත් නැද්ද පුතා....     මම විමසුවෙමි..

                 අපි තමයි ඉන්නෙ....

                කෝ අම්ම තාත්ත නැද්ද... 

         තාත්ත උදේම කොටපොලට ගිහිං එන්න ගියා... අම්ම නංගිට බෙහෙත් විදින්න ගියා. තාත්ත දැන් එයි,   මහත්තය අපේ ගෙදරින් වාඩි වෙන්න... දරුවා මේ සියළු කතාවන් කීමට මඳක් වේලාව ගත්තේය. 

    ඒ ආරාධනය වෙත යොමු නොවූ මම පැරණි ගෙයි හැර දමා තිබූ ජනෙල් පියන් අතරින් ගෙට එබුණෙමි. ඒ අතරේ දරුවා මගේ මෝටර් රථය අත ගාමින් සිට සිය නිිවස තුළට වැදුනේය. වසර හතලිහකට පමණ පසුවත්, ඒ පැරණි නිවසේ ඇතුළේ සිට රෝහණ විජේවීරත් ඊට මඳක් එපිටින් සිටින කඩවසම් තරුණයාත් කිසි වෙනසක් නැතිව  පැමිණෙන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳ විමසිල්ලෙන් දොර දෙස බලා සිටීම අතහැර නැත. වසර ගණනකට පෙරත් එය එතැනම වූ බව මගේ මතකය මට කියයි. 

    තනිවූ හාන්සි පුටුවක් පාර දෙසට මුහුණ ලා ඉස්තෝප්පුවේ හිඳගෙන විවේකයෙන් දිවි ගෙවයි. ඇර තැබූ ජනේලයෙන් එබී ගෙ තුළ සිරි නරඹා අවසන් කල මම එහි වැතිරුනෙමි. එහි වැතිරීමම මට සුවයක් ගෙනෙන්නට විය. මේ නිවසේ සිටින්නේ කවුරුන්ද? කුඩා දරුවාද සිය නිවස තුළට වැදී සැ`ගව ඇත. විස්තරයක් ඇසීමටද කිසිවෙක් ල`ග පාතක නැත. මම හාන්සි පුටුවේ වැතිර සිට හිසට ඉහළින් ඇති වහලය දෙස බැලූවෙමි. එහි උළු කැට පවා මා හඳුනා ගත්තා මෙන් විමසිල්ලෙන් මා දෙසම බලයි. මගේ දිවියේ වසර දොළහක් පමණ ගෙවි ගියේ මේ නිවසේ දී බව මම දෑස් වලින් ඒ සෑම උළු කැටයකටම වෙන වෙනම කීවෙමි. 

      නිවස ඉදිරියේ උළුවස්ස දෙපසින්, සිද්ධාර්ථ උප්පත්තිය දැක්වෙන පින්තූරයත්, සසරින් එතෙර වීමට මං සොයා චන්නක හා කන්‍ථක අසු පිට නැගී නේරංජාව තරණය කරනා පින්තුරයත්, තවමත් පෙර සේම ඒ තැන් වලම සිටී. වසර ගණනක් පුරා හිරු කිරණට පාට පිළිස්සීමෙන් දුර්වර්ණ වී ඇති මෙම පින්තූර යුග්මය පුටුවක් මත නැ`ගී මෙහි එල්ලූයේ මම යි. ඇඳි කමිසයේ දිගු දෑත් වැලමිට තෙක් නවා ගත් මම දෙනෙත් පියා ගත්තෙමි. 

                 මහත්තයා ..... කවුද...

මා දෙනෙත් හරින විට මා ඉදිරිපට සිටියේ බොහෝ සෙයින් කලූ, හීන්දෑරි පුරුෂයෙකි. සරමක් හැඳ කමිසයකින් සැරසී සිට ඔහු නිත්‍ය වශයෙන්ම අර දරුවාගේ පියා විය යුතුය. ගේ ඉදිරිපිට මෝටර් සයිකලයක් නවත්වා ඇති බැවින් මා එය අනුමාන වශයෙන් සිතුවෙමි.

                 මෙහේ හිටපු උදුලාවතී නෝන කොහෙද දැන්.....

                  මේ තිස්ස මහත්තයද?

                   ඔහේ කොහොමද දන්නෙ....

              උදුලාවතී නෝන මට මහත්තය ගැන කියල තියෙනව. මෙතනට වෙලා බලා හිටිය මහත්තය එනකල්. අවුරුදු ගාණක් තිස්සෙ ඔය පුටුවෙමයි හිටියෙ. ඉතින් මං හිතුව මහත්තය වෙන්න ඇති තිස්ස කියල... අවුරුද්දක් වත් නෑ තව... ඔය පුටුව උඩමයි මැරුණෙ.... පාර බලා ඉඳලම ... 

                    උදුලාවතී නෝන මං එනකල් බලා හිටියද?

මගේ පුපුවේ එක් පසෙකින් මහා වේදනා ප‍්‍රවාහයක් ගලා එන්නට විය. ඇය මා වෙනුවෙන් බලා සිටි බව, ඇය ඇගේ දිවියේ අවසාන හුස්මත් මා එන තෙක් ම`ග බලා හිඳීමෙන්ම දිය කල බව ඇසුන විට මා තුළ නිසොල්මනේ තිබූ වේදනාවේ උල්පත් සියල්ල එක් වනම යළි ඉපදෙන්නට විය. නෙත් නියර උතුරන්නට පෙර මම ඉක්මනින් ඇසි පියන් සළා එය යටපත් කර ගත්තෙමි.

                   ඔවු මහත්තය ඇයි මෙච්චර පරක්කු වුණේ?.....

                   ඔහේ කවුද.... මා ඇසුවේ හිඳ වුන් හාන්සි පුටුවෙන් නැගිටිමිනි.

                    මං ප‍්‍රියන්ත... උදුලාවතී නෝනගෙන් මේ පොඩි ඉඩං කෑල්ල සල්ලි වලටම ගත්ත. හැබැයි මහත්තයගෙ නමට මේ ගේ ලියල තියෙන්නෙ... මට උදුලාවතී නෝන කිවුව දවසක මහත්තය ඒවි එතකොට දෙන්න කියල.. 

                   එතකොට උදුලාවතී නෝනට වෙන ළමයි හිටියෙ නැද්ද ප‍්‍රියන්ත?

                    උදුලාවතී නෝනට හිටියෙ එක ළමයයි.. ඒ ළමය එනකල් පාර බලා හිටිය... කවදාවත් ආවෙ නැති වුණාට. මේ ගෙයි ඔප්පුව නං ඇත්තෙ  ගේ ඇතුළෙම තමයි.... 

                  මට මොකටද  ඕව ප‍්‍රියන්ත... මං ලංකාවෙවත් නෑ දැන්...

                  මොනව හරි බීල ඉමුද මහත්තය...  

මා  මිදුලට බසිනවාත් සම`ගම මෙන් ඔහු විසින් ඇඳ වර්ණ ගන්වන ලද මගේ මොටර් රථයේ පින්තූරයක්ද සහිතව එහි දුව ආ මා දැනටමත් හඳුනන පිරිමි දරුවා ‘‘ තාත්තෙ මේ මහත්තයා අපේ ආත්තම්මගෙ ගෙයි ඉන්නෙ කවුද බලන්න ඇවිත්’’ කියා කිවේ ය. මම විශ්මයට පත් වුණෙමි. මම ප‍්‍රියන්ත දෙස බලමින්ම නැමී දරුවාගේ උරහිස මත අත තබාගෙනම ඔහුගෙන් ප‍්‍රශ්නයක් ඇසුවෙමි.

             ඒ පුතාගෙ ආත්තම්මද?

              ඔව්... මගෙයි නංගිගෙයි ආත්තම්ම... අපේ තාත්තගෙ අම්ම... අපිට හැමදාම කතන්දර කියල දුන්න.. දැන් එයා නෑනෙ... මා හඳුනනා බැවින් දරුවා දැන් පෙරට වඩා කුළුපගව කතා කරයි.

            චමත්... උඹ පලයං ගෙට... වැඩිහිටියො කතා කරන කොට මැදින් පැනල කතා කරන්න එපා කියල කොච්චර කිව්වත් උඹට බෑ නේද ඒක නොකර ඉන්න....

දරුවා තුෂ්නිම්භූතව මා දෙසත් සිය පියා දෙසත් බැල්මක් හෙලා තමා පැමිණි කාරියත් අමතක කොට, සිය චිත‍්‍රයත් සම`ගම ගෙට දිව ගියේය.

                 ඇයි අයිසෙ තමුසෙ මට බොරු කිවුවෙ...

                මම බොරු කිවුවෙ නෑ මහත්තය. මං අවජාතකයෙක්.. ඒ නිසා මට අප්පෙක් නෑ... මුළු ජීවිත කාලෙම අම්මෙක් හිටියෙත් නෑ.. එයා හිටියෙ පාර බලාගෙන එයාගෙ පුතා එනකල්.. මගේ අම්මට ගමේ මිනිස්සු කියපු විදියට නරක ගැණියෙක්.. ඒ මිසක් උදුලාවතී කියල ‘‘නෝන’’ කෙනෙක් නෙවෙයි.. අවුරුදු ගාණක් ආදරේ කරල බැඳපු මිනිහ හැත්තඑකේ කරැළ්ලෙ දි මැරිච්ච, තමංගෙ පණ වගේ දරුව ජීවත් කරවන්න ක‍්‍රමයක් නැතුව නරක ගෑණියෙක් වෙච්ච ගෑනියෙක් මගේ අම්ම. මං ඒ පණ වගේ පුතාගෙ බඩගින්දරේ නැති කරන්න කරපු පවු වල ප‍්‍රතිඵලයක් මිස, අම්මෙක් අප්පෙක් ඇතිව ජාතක වෙච්ච එකෙක් නෙවෙයි මහත්තය. 

මගේ හදවත නැවතත් නැවත නැවතත් මහා හස්ති රාජයෙකුගේ පයට පෑගෙන්නාක් මෙන් තෙරපුමකින් පීඩා විඳින්නක් බට පත් විය. මා සැම විටම මා පිළිබඳව පමණක් සිතීමට පුරුදු වූ දරුවෙකු වූයේ ඇයි... එයට හේතුව කුමක්ද?... මා නිසා මෙලොව කොහේ හෝ කෙනෙකු පීඩාවකින් හෝ වේදනාවකින් පෙළෙනු ඇතැයි කියා මට කිසි විටකත් නොසිතුනේ ඇයි... ප‍්‍රියන්තගේ දෙනෙතේ කඳුළු බොහෝ සේ දොඩමළු වී ඇත. මා මිදුලේ ගල් ගැසී සිටියදී, පැරණි ගෙයි ඉස්තෝප්පුවේ බිත්ති කණ්ඩියට හේත්තු වූ ප‍්‍රියන්ත නැවතත් මා දෙස බැලූවේ කඳුළු හිස් නොවු දෙනෙතින්මය.

               මගේ ජීවිත කාලෙ පුරාම මං හැම දාම ඇහුවෙ, ‘‘මගේ කොල්ල දවසක ඒවි මාව බලන්න.. ඌට මං නැතුව ඉන්න බෑ...’’ කියල විතරයි. ‘‘උඹ මොනවද කෑවෙ බිව්වෙ පුතේ’’ කියල මගෙන් කවදාවත් ඇහුවෙ නෑ. ඒත් ‘‘මගේ තිස්ස පුතා කෝපි බොන්න හරි රුසිය’’ කියල කියනව මේ ගේ හරියට එන එන එකාට.   ‘‘ප‍්‍රියන්තයෝ මෙහේ වරෙන්. අරක කරල දීපන්... මේක කරල දීපන්...’’ මට අම්මගෙන් ලැබුණෙ එච්චරයි. කොච්චර කියල ඇත්ද ‘‘අවජාතකය’’ කියල මටම. කෝපි කෝප්පෙකින් මූණට ගහල පැනල ගියාට, හරිනං මහත්තය නෙවෙයි මමයි මේ ගේ අතෑරල යන්න  ඕන.... මටයි  ඕනවටත් වඩා හේතු තිබුනෙ උන්දැව දාල යන්න. ඒත් මාව අවජාතකේට හරි හදාපු අම්ම වෙනුවෙන් මං හිටිය මහත්තය.... මහත්තයට වගේ තද හිතක් මට තිබුණෙ නෑ ඒ අසරණ ගෑනිව තනි කරල යන්න...

    මම ඒ පැරණි නිවසේ පිළ මතම ඇඳ හැලූනෙමි. මගේ දෑසේ වේලි බැඳ තිබූ මහා දියවරක්, තව දුරටත් කිසිසේත් නවත්වාගත නොහැකිව, උතුරා පිටාර ගලන්නට විය. මම දෙදණ හිස මත හිස ස`ගවා ගත්තෙමි. මට ඔහුට මුහුණ දිය නොහැක. මගේ ඉකිහ`ඩ මඳින් මඳ මැඩිය නොහැකි තරම් උස් පහත් වෙමින් බොහෝ වේලාවක් පැවතුනි. එය ටිකෙන් ටික අඩුවුනේ ප‍්‍රියන්තගේ අත මගේ පිට මත නැවතුන විටයි.

                  මං ඉස්සර කෝපි බොන්න හරි කැමතියි ප‍්‍රියන්ත. අම්ම ඔය වත්තෙ කෝපි ගස් කීපයක් වවල ගෙඩි වේලල, කොටල, බැදල, කෝපි හදල දෙනවා. හරිම රහයි. මං කවදාවත් තාත්ත දැකල නෑ... ඔය සාලෙ තියෙන පින්තූරෙ විතරයි මං දැකල තිබුණෙ... තාත්ත නැති අඩුව මට දැනුනෙ අවුරුදු දහයක් විතර වුණාම. කන්න බොන්න කිසි දෙයක් නැති වුනා. අම්මයි තාත්තයි පැනල ඇවිත් බැඳපු නිසා නෑදෑයොත් නෑ.. අම්ම නොකල දෙයක් නෑ ජීවිතේ ගැට ගහ ගන්න. අම්ම කඩයප්පන් හැදුව, මං ඒව කඬේට ගෙනිච්ච. ඒ සල්ලි සොච්චම මදි ජීවත් වෙන්න. අම්ම නොකා මට කන්න දීපු වාර අන්නතයි. මේ බිත්ති කණ්ඩිය උඩ වාඩි වෙලා අම්ම මට හොරෙන් අ`ඩනව මං අනන්තවත් දැකල තියෙනව, චිමිණි ලාම්පු එළියෙන්... ඔය අතරෙ ගෙදරට එක එක ජාතියෙ මිනිස්සු එන්න ගත්ත. දවසක් හවස කඬේ ගිහින් එද්දි මට ගෑනියෙක් කිවුව, ‘‘උඹලගෙ අම්මට දැන් හරි සරුයි නේද? අන්න උඹට සෙල්ලම් කරන්න නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන්නලූ යන්නෙ’’ කියල... එතකොට මට යන්තම් දැනුම් තෙරුම් තියෙන වයස. මං හැන්දෑව පුරාම අම්ම එක්ක රණ්ඩු වුණා. ඉරිසියාව... කේන්තිය... මිනිස්සුන්ගෙ කතා.... මට දරාගන්න බැරි තරමට හිත පිපිරි පිපිරි හිටියෙ. අම්ම මට කෝපි කෝප්පයක් හදාගෙන කාමරේට ආවෙ, ඒ අතරෙ.. ‘‘තරහ අමතක කරල මේක බොන්න මගේ වස්තුවේ...’’ කියල අම්ම මට ඒක දෙන කොටම මට ඇති වුන තරහව පාලනය කර ගන්න බැරුව මං ඒකෙන්ම අම්මගෙ මූණට ගැහුව. මං බය වුණා අම්ම මැරෙයි කියල. ඒකයි ගෙදරින් ගියේ.... අද මේ වෙනකල් මට එක කෝපි උගුරක් වත් බොන්න බෑ... අම්ම මතක් වෙනව.. මං ම මට ද`ඩුවම් කර ගන්නව.. ඒක මහා වේදනාවක් ප‍්‍රියන්ත... පාර දිගේ කොළඹට වෙනකල් ගියා කඬේකින් හොරකම් කරල පොලීසියෙන් අරන් ගිහින් ළමා නිවාසෙකට දැම්ම. උප්පැන්න සහතිකයක් වත් තිබුනෙ නැති නිසා මං කිවුව අම්ම තාත්ත දෙන්නම නෑ කියල... අම්ම තාත්ත නැතිව පාරෙ හැදුන විදියට ඉන් පස්සෙ මුළු ජීවිතේම ගෙවුනෙ. මෙතනට ආපහු එන්න වැටුන හැම පාරක්ම මං විසින්ම වහල දැම්ම. හැම ධෛර්යක්ම දාල මිනිස්සු යාළු කරගෙන ඉතාලි ගියා. එහේ පදිංචි වුණා. බැන්ඳ. අතීතය පුංචි කාමරේකට දාල වහල, වේදනාවෙන් මැරි මැරී හිටිය... වයිෆ් වත් දරුවො වත් දන්නෙ නෑ කිසි දෙයක්... මට කිසි කෙනෙක් නෑ... මං අනාථයෙක් කියල මං මටම කියා ගන්නවට වඩා ද`ඩුවමක් තවත් තියෙනවද ප‍්‍රියන්ත... මගේ අම්මව දකින්න වත් මට නොලැබීමට වඩා දුකක් තව තියෙනවද...


   මගේ අදෝනාව කදුළු අතරින්ම ගලා ගියේ ප‍්‍රියන්ත ඉදිරිපිටදීම ඔහුගේ සුසුම් හ`ඩ අතරින්ම ය. මොහොතකට පෙර අනාථයෙකු ලෙස මේ ලොව සිටි මටත් ඔහුටත් දැන් හදිසියේම සහෝදරයින් මුණ ගැසී තිබේ. එදා මා හැරදමා ගිය පසුව මගේ අම්මා රැක බලා ගෙන ඇත්තේ මගේ ඒ සහෝදර වත්කම විසිනි. මා ඇගේ අභිමානයේ වත්කම වුවද ප‍්‍රියන්ත ඇගේ අවමානයේ වේදනාවයි. මා වෙනුවෙන් අවමන් විඳි ගැහැණියට කිසි දිනක මගේ අතින් සාධාරණය ඉටු වී නැත. අඩුම තරමින් ඇගේ දෙනෙතට තිබූ අවසන් බලාපොරොත්තුව හෝ ඉටු කිරීමට තරම් මා කාරුණික වී නොමැත.

       මහත්තය මූණට ගහපු කෝපි පාරෙන් අම්මගෙ මූණෙ කිසි වෙනසක් නොවුණත් පස්සෙ කාලෙක එක ඇහැක් පේන්නෙ නැතුව ගියා. අම්ම ඒ සිද්ධියෙන් සතුටු වුනා මිස මහත්තය කෙරේ තරහවකින් හිටියෙ නෑ. ‘‘ඌ මට මීට වඩා දෙයක් කරත් මං ඉවසන්න එපැයි... මගේ අතින් වෙච්ච වැරදි වලට’’ කියලයි කිවුවෙ. මහත්තයගෙන් කිසිම තොරතුරක් නැති වුණත් කොහේ හරි හොඳින් ඉන්නව කියල බලාපොරොත්තුවක් මිස කවදාවත් එන එකක් නෑ කියල නම් අම්ම හිතුවෙ නෑ... එයාට එක ඇහැක් හරි බේරගන්න  ඕන වුණේ මහත්තයව බලා ගන්න විතරයි. මේ ලෝකෙ වෙන කිසි දෙයක් එයාට බලන්න  ඕන වුණේ නෑ... මහත්තය එනකොට මේ හැම දේම වෙනස් වෙලා මහත්තයට අඳුන ගන්න බැරි වෙයි කියල, අම්ම කිසි දෙයක් වෙනස් කරන්න දුන්නෙ නෑ.. ඒකයි මං වෙනම ගෙයක් හැදුවෙ. ඉස්කෝලෙ නොගියට මං අතේ පයේ වැඩ කර්මාන්ත පුරුදු වුණා.  අම්ම විතරක් නෙවෙයි මහත්තය මමත් මහත්තය එනකල් බලා හිටිය. මේ පුටුව උඩ අම්ම මැරෙනකල්ම. මට මහත්තය එක්ක තිබුන එකම තරහව අම්ම බලන්න එක වතාවක් හරි ආවෙ නැති එක විතරයි. ඒ හිත මහා ආදර පර්වතයක්. හිම කන්දක් වගේ දිය වෙලා දිය වෙලා ගියා අපරාදෙ. මං දන්නව මට ආදරේ නොපෙන්නුවට මගේ දරුවොන්ට අම්ම හරිම ආදරෙයි. ඒ අසරණ ගෑණිගෙ අන්තිම කැමැත්ත ඉෂ්ඨ කරන්න බැරි වෙච්ච එක තමයි මට ඉවසන්න බැරි.

      එසේ කියමින් ප‍්‍රියන්ත නැගී සිටියේය. ඔහු කෙලින්ම මා නොරිදවා රිදවයි. මගේ යුතුකම, මගේ වගකීම මට වඩා හොඳින් ඉටු කොට ඇතත් ඔහු ඔහුටම වරද පටවා ගැනීමෙන් ඒ වේදනාව මා අවුළුවාලයි. සුජාත පුතුන්ගෙන් නොලත් සෙනෙහසක් වෙනුවෙන් මගේ අම්මා දුක් විඳිද්දී, ඇගේ දරු සෙනේහයේ වටිනාකම ගැන දෙවරක් නොසිතාම අභිනික්මන් කල සුජාත පුත‍්‍රයා වෙනුවට ඇය සෙනේහයෙන් රැක ගෙන ඇත්තේ ඇගේ අවජාතක පුත‍්‍රයා විසිනි. මේ වේදනාවෙන් මිදීමට ම`ගක් මට සොය ගැනිමට නොහැකි වනු ඇත. මම ඉකිගසමින් ඇ`ඩුවෙමි. මගේ දුක දිය වන තෙක්...

        පිට කොන්ද දිගේ ද`ගලාගෙන ආ වේදනාවක් මගේ පපුවේ වම් පැත්තට වැරෙන් ඇතුළු වන්නට විය. හිස ඔසවා බැලූවිට ප‍්‍රියන්ත මා ඉදිරියේ නොවීය. හදිසියකදී ල`ග තබා තැනීමට වෛද්‍ය වරයා විසින් ලබා දුන් බෙහෙත් ඇත්තේ මගේ මෝටර් රථය තුළයි. මම හිඳ සිටි බිත්ති කණ්ඩිය මතින් නැගිට්ටෙමි. මගේ දරුවන්, මගේ බිරිඳ නැවතත් මා එන ම`ග බලමින් සිටිනු මට සිහියට නැ`ගුනි. මා ඔවුන්ට නොදන්වා මෙසේ පැමිණ කර ඇත්තේ මහා බරපතල වරදකි. පියවර දෙක තුනක් ඉදිරියට තැබුවත් තවත් ඇවිදීමට නොහැකි තරමේ පපුවේ වේදනාවකින් මා පෙළෙන්නට විය. මම මඳක් නැමී දෙදණ අල්ලා ගතිමි. එහෙත් මොහොතකින් පීරිසියක් හා කෝප්පයක් එකිනෙක ගැටෙන හ`ඩින් මම යන්තමින් හිස ඔසවා බැළුවෙමි. එය ප‍්‍රණීත සුවඳැති උණුසුම් කෝපි කෝප්පයකි. ප‍්‍රියන්ත ‘‘ඇයි මහත්තයා’’ කියා අසමින් ඔහුගේ සවිමත් සුරතින් සිය සිරුරට මා වත්තම් කර ගත් විට මට අභ්‍යන්තරික වේදනා සියල්ල පහව යන තරමේ සුරක්‍ෂාකාරී, සෙනේවන්ත හැ`ගීමක් හදවතට අවතීර්ණ විය. ඔහු කෝපි කෝප්පය ඉස්තෝප්පුවේ බිත්ති කණ්ඩිය මත තබා දෑතින්ම මා අල්ලා ගත්තේ පොඩි දරුවෙකු වත්තම් කරනා තරමේ පරික්‍ෂාකාරීවය.

             ඕනවට වඩා හිතන්නෙපා මහත්තය... හැම මිනිහම දැන හෝ නොදැන වැරදි කරපු අය... මහත්තය කැමති විදියකට කැමති දෙයක් මේ දේපල වලට කරන්න. ඒ ඔක්කොටෝම කලින් මේ කෝපි කෝප්පෙ බීල ඉන්න.... අම්ම හිටිය නම් අම්ම අතින්මයි දෙන්නෙ... 

ප‍්‍රියන්ත මා දෙස හැරී බලා මඳ සිනාවක් පෑ විට මම ඔහු තරයේ වැළඳ ගත්තෙමි. මගේ ළය මත අළුත් සෙනෙහසක් දෝර ගලන්නට විය. අම්මා මෙන්ම මා වෙනුවෙන් බලා සිටිනා වෙනත් අයෙක් දැන් මට මෙලොව ඇත. ඒ මගේ  සහෝදරයා නොවේදැයි මගේ හිත කෑ ගසයි. මා තුල දිවි ගෙවූ අනාථයා මිය ගොස් අළුත් සහෝදරයෙක් ඉපදී ඇත. මා ඒ අලූත් සහෝදර කමට යුතුකම් ඉටු කිරිමට ජීවත් විය යුතුය. 

               මහත්තය කියන්නෙපා... මට අයිය කියන්න... 

මම අමෘතය දිවගා බැලූවෙමි. එය තිබුණේ මගේ සොයුරා මට සදා දුන් කෝපි කෝප්පය තුළයි...    





























                                                                                                                                නදීශා දිල්රුක්‍ෂි ගමගේ

1 comment:

  1. මේ බ්ලොග් එක කියවනන් ලැබුනේ අහම්බෙන්. ඒත් මේ තරම් රස බ්ලොග් එකක් නම් කියවලා තිබුනේම නෑ වෙන්න ඕනේ. දිගටම කියවන්න එන්නම්.

    වර්ඩ් වෙරිෆිකේසන් අයින් කරනවා නම් පහසුයි.

    ReplyDelete