Monday, August 5, 2013

Don't Say It Again







 








Don't Say It Again .......






Hold my hand in tight....
Look at my eyes...
then tell me the truth....
what do you want?
hold my all over the things.....
but don't say............

''I have to go..... please LET ME GO''

I never hope your life as a gift
on my hand...
I never hope your heart as a gratuity
of my life....

But............. I just think...
you are stay here with me..
I'm the everlasting part of your life...


so... don't say It again
''PLEASE LET ME GO'' 


because........

I want to see your 
satisfied smile...

I LOVE YOU






වසන්තයට පසු





 





















වසන්තය නිමාවී ගිය
ලකුණු පමණක් ඉතිරි වී ඇති......
තාරැණ්‍යය වියැකුණ සිහිනයක
මම නුඹ දුටිමි ඊයේ..........

සුවඳ උරනා වියරුවක
අරැමය සගවගත්
මී මැසි කැළකි සිතිවිළි...........


පමා වූ කළ වසන්තය
නිමා නොම වෙයි ඉක්මනින්.......

නෙක තුරු ලතා පීරා
සිසිල උණුසුම සමකොට
පුබුදුවාලයි කුසුම් බිඳු
නිමේෂයෙන් නිමේෂයට.............
ආදරේ වියරුවකි
උමතු වී ගත් හදවතක....

ලකුණු පමණක් ඉතිරි කර
වසන්තය
ඉඳින් නිමා විය.....................

Sunday, August 4, 2013

මලිත්තෙක්ගේ කතාවක්''''

 මලිත්තෙක්ගේ කතාවක්''''

අස්පර්ශිත ආලෝකයක වර්ණ විස්තරයක් 

































මා කිවිඳියක් වන්නේත්, රචිකාවක හෝ විචාරිකාවක් වන්නේත් ඔබ සමග ගතකරන පැය කිහිපයක ආලින්ගනාත්මක සුවයට පසුව බව දැන් මම දනිමි. ගිය සෙනසුරාදා රාත‍්‍රියේ ඔබේ සයනයේ ගතකළ ප‍්‍රීතිමත් පැය දොළහට මා හදවත පුරා ලියා ගත් කවි කතා සහ විවේචන අපමණ ය.....


නුවර සිට පැමිණ පංචිකාවත්තෙන් බැස, කරගම්පිටිය බස්රථයට ගොඩවුණේ රාත‍්‍රී හතයි තිහ ද පසු වී නමුත් මගේ හෘදය ස්පන්ධනයේ කිසිදු අඩු වැඩියක් සිදු නොවු බව මම දනිමි. එහෙත් නුගේගොඩින් මා බසයෙන් බැස එනතුරා අඳුර තුළ නෙත් දල්වා සිටින ඔබ දුටු විට මගේ හදවත අපමණ ව්‍යාකූලත්‍වයකින් ද, අනුරාගාන්විත ප‍්‍රහර්ෂයකින් ද ඔද වැඞී තිබුණි. මානුෂිය ගුණයන් අභිබවා යන, පරිසර සංතුලණය පවා තමා කෙරේ නතුකර ගැන්මට සමත්, පුරුෂයෙකු පිළිබඳව ස්ත‍්‍රී චෛතසිකය තුළ උපදින අපූර්ව ගෞරවාන්විත ස්නේහ කදම්බයක් මිහිමත කිසිවකට සම කළ නොහැක. එවන් සතුටක් අත්විඳීමටඅසම්මතයකින් මට ලබා දුන් අත් උදව්වට මම තවදුරටත් ණය ගැති වන්නෙමි. ඒ තුළ ඇත්තේ ආදරයම පමණක් නොව උතුරා ගලන ගෞරවය, රැකගැනීමේ ආශාව හා එවන් පුරුෂයකුගේ වත්කම තමා සතු බව සිතන සරල අභිමානයකි.


පවනින් පවා ඔසවා වාතලයට විසිකලහැකි අයුරින් මගේ හදවත ද සැහැල්ලූ වී ඇත. දෛවයේ වාසනාවට හෝ අවාසනාවට  ඒ ඔහු නිසයි. රාත‍්‍රී අන්‍ධකාරය විසින්, තැනින් තැන සුදු රටා මැවූ ඔහුගේ හිසකේ වල, වර්ණය උරා බී තිබුණි. එය තහවුරු කරමින් ම රන්වනින් හිසකේ සැකසීමට ද මුහුණේ තාරුණ්‍යය මතු කිරීමට ද ඉදිරිපත්ව සිටියේ විදුලි ආලෝකයයි.  ඒ මොහොතේ මගේ හදවත තෙපළු දස දහස් කවි මට කිසිවෙකුට යළිත් විග‍්‍රහ කළ නොහැක. මම ඔහු වැළඳගනු රිසිව ඔහු වෙත දැත පෑමි. ඔහු මෝටර් රථයේ දොර හැර මට ඉඳගැනීමට සැලැස්වුයේ පෙර කිසි දිනක නොවු අයුරිනි. නොසලකා හැරීමට ලක්වීම හදවත රෝගී කරවයි. මම හිඳගතිමි. නොසන්සිඳුන හදවත ද මා සමග අසුන් ගත්තීය.  හඬ නොනගාම මම ඔහු වෙත බලා සිටියෙමි. නිහඬතාවය මහන්සිය වැඩි කරවයි.

කෑම කාල යමුද? මට බඩගිනියි.

ඔහු නිහඬ ය. ඒ නිහඬතාව තුළ මගේ තවදුරටත් කතා කිරීමේ ඉඩකඩ අහුරයි.  එනමුදු ඒ නිහඬතාව පවා මා අළුත් කරවයි. නැවුම් කරවයි. මගේ කුසගින්නට පවා ස්වාධීනත්‍වය අහිමි කරවන මේ ආදරවන්තයා මගේ සියුමැලි සිතැඟි නොතකයි. ඔහු සෙනෙහසින් ආතුර නොමවෙයි. මම ම ආතුරයා වෙමි. ඔහු ඒ රෝග පීඩාවන්හි මූල බීජයයි.

අසම්මත ආදරය - අසම්මත රෝගයකි !

බෙල්ලන්විල පන්සල ආසන්නයේ කුඹුරු යායකට සිය කවුළු පියන්පත් විවර කරගත් ඔබගේ තෙමහල් පාය මට මා ලොව දිවි ගෙවූ සුන්දර ම ස්ථාන දෙකෙන් එකකි. කිසිදු බරක්පතලක් නැතිව දඟකාරකම් කෝටියක් වතාවත් සේ ඉටුකළ පාසල් නේවාසිකය අනෙක් සුන්දර ස්ථානයයි. නිවසට ඇතුළු වන විට ම, මඳ අඳුර අතරින් බිම්මහලේ පිහිටි මුළුතැන්ගෙයි සිට සිරිල් හිස පොවා ම දෙස බැළුවේය. එකෙනෙහිම යළිත් ඒ හිස සැඟවිණ. සිරිල් දක්නා හැම මොහොතකම පාහේ ඒ මිනිහා මොනවා හිතනවා ඇත්දැයි මම මගෙන්ම විමසමි. 


කෑම උඩට ගේන්න......


විධානයට පිළිතුරක් නොවීය. නමුදු ඊට පිළිතුර ක‍්‍රියාවෙන් ඉටුවන බව දන්නා බැවින් මම කල්නොමරා ම නාන කාමරයට වැදුණෙමි. සැබැවින් ම ඒ මගහැරීමට හේතුව සිරිල්ගේ සාම්ප‍්‍රදායික සදාචාරවත් සමාජයට සහ එහි ප‍්‍රශ්නයට ලක්වීමට ඇති බියක් බව දැන සිටියේ මා පමණී. සිරිල් මගහැරීමට ප‍්‍රධාන කාරණාව එය ම නොවේ. ඔහුගේ දෑසට, ඒ බැල්මේ ඇති ශේෂයකට මම බිය වෙමි. ඒ දෑස මගේ මලිත්තාගේ වගේ යැයි මගේ හිත කියයි. මලිත්තා ගේ දෑස අමතක කරන්නට මම තදින් මගේ මුහුණ දෑතින් අතුල්ලමින් සෝදා ගතිමි. සියල් සිරුරම වේදනාවන්ගෙන් පිරුණ ද ඉතිරී පැතිරී තිබුණ ද එක් කුඩා ආලෝක බිඳක් කෙරේ පමණක් විශ්වාස කොටගෙන මම දිවි ගෙවමි. ඒ ආලෝක බින්ඳුවට මම සුරේන් යැයි නම් තැබීමි.


සුරේන්.......


පනස් තුන්වන විය ද ඉක්මවා ලූ මාගේ සෞන්දර්යවාදී පෙම්වතා.....මට ම කවි පද බඳින.... මගේ දෙඅත්ලේ ද, මගේ හදවතෙහි ද ඒ කවි අකුරු ලියමින් මා නළවන....තුරුණු හදවතක් ඇති සුපෙම්වන්ත කථිකාචාර්යවරයා....

නාන බේසමේ පතුලේ උණුදිය උණුසුමේ ගිලූණ විට සෑම තත්පරයක් ම නිෂ්චලයි. සිතිවිල්ලක බරක්වත් සිතට නොදැනෙන තරම්. ජලය දිව ඔසුවකි....


මලිත්තා ගේ දෑස හොරාගත් මිනිසා පැමිණ කාමරයේ මේසය මත කෑම බන්දේසිය තබා යන හඬ සවන වැකුණි. යළි දොර වැසෙන හඬ. මලිත්තා.... මගේ  මලිත්තා....! නිවාඩුවකට අක්කා ගෙදර එනතුරා බලාගෙන හිටපු මලිත්තා....ප‍්‍රශ්න දාහක් එක බැල්මකින් අහපු අහිංසක ඇස් දෙකේ අයිතිකාර මලිත්තා.....මැරෙන්න තියා මැරෙන හීනයක් වත් දැකල නැති ඇස් දෙක. ඒ ඇස් කොහොමද සිරිල්ට ලැබුණෙ?....මම බයවෙන්නෙ ඒ ඇස් වලට ද, ආදරණීය නොවුණත් පවුලක මතකයක් සිහියට නංවන තාත්තෙකුට සමාන මනුෂ්‍යයාට ද? සිරිල් මා දිහාව බලන්නෙ පවුලකට වද්දගන්නවත් හොඳ නැති වෛශ්‍යාවක් වගේ ගෑනියෙක් කියල හිතාගෙන බව මට ඒ මූණ කියනව. 


බඩගිනියි !   දැන් ම එනවද?


දොරට තට්ටු නොකර ම සුරේන් දැහැන බිඳියි. හති දාගෙන දුවගෙන ඇවිත් මම නිස්කලංක වෙන්න හදන්නේ කම්මලක් වගේ තැනකදි. හදවත වෙන කිසි වෙලාවක නැති තරම් ඝෝෂාකාරීයි. ගෙවෙන හැම තත්පරයක ම, කොටින් ම මුළු සති අන්තය පුරා ම කරන්නේ ඒ ගෝසාව පිටතට නොඇහෙන්න හංගගන්න වෙර දරන එක. දිය නෑම හමාර කළ විට හදවත සැහැල්ලූයි.


චිමිණි ලාම්පු එළියේ අතරමං වූණ තරමක් විශාල නිදන කාමරය. සුරේන් චිමිණි ලාම්පු එළියට කෑදරයි. ලියන කියන දේවල් පවා සමහර වෙලාවට චිමිණි ලාම්පු එළියෙන් කරන්න ආසයි. ඒ ඇයි කියල ඇහුව ම කියන්න එයාට ගොඩාක් කාරණා තිබුණ. චිමිණි ලාම්පු එළිය තමයි සිතේ සිතිවිලිවලට ලෝකය දකින්න උදව් කරන්නෙ කියල කියයි, නැත්නම් කියයි පුංචිකාලෙ පාඩම් කලේ හරි ඉස්ඉස්ලේලම කෙල්ලෙක්ට ලියුමක් ලිවුවෙ හරි චිමිණි ලාම්පු එළියෙන් කියල. මොනවා වුණත් එයා ඒ එළියෙන් ලොකු දුකකුත්, සතුටකුත් එකෑවරම විඳිනව. මට දැනෙන්නෙ එහෙමයි. දැන් දැන් මටත් ඒ එළියෙ මොකක්දෝ ලොකු හැඟීම්බර අස්පර්ශනීය ලෙන්ගතුකමක් දැනෙනව.

සුරේන් මට හමුවුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ තෙවන වසරේ ඉගෙනගන්නා සමයෙදි. බාහිර කථිකාචාර්ය වරයෙක් විදියට අපට දේශන කිහිපයකට ආපු වෙලාවකයි ඒ දැකගැනීම සිදුවුණේ. ඇත්තමට හිතල බැලූවොත් එයාගෙ පෙනුම ගැනයි මුල ඉඳල ම මට ආකර්ශනීය ආශාවක් තිබුණෙ. මම විතරක් ම නෙවෙයි, තරුණ කථිකාචාර්යවරියොත් කැම්පස් එකේ කෙල්ලොන්ගෙත් ඒ හිනාවට පුදුම ආකර්ශනයක් තියෙන බව මට තේරුණේ ඒ දවස්වල ම යි. අඩි හයක් නැතත් ඒ ආසන්නයට ම උස ඇති. වැඩි මහතකුත් නෑ කෙට්ටුත් නෑ.....ඒ කාලෙත් තැනින් තැන කොණ්ඩෙත් රැුවුලත් සුදු වෙලා තමයි තිබුණේ. ඒත් ඒ එක හිනාවක් මූණ පුරා දුවනකොට මට දැනුණෙ මං තුළම හිරවෙලා ඉන්න සාම්පදායික යුවතිය මියගිහින් ඒ වෙනුවෙන් අලූත් ම රැඩිකල් කෙල්ලෙක් උපදිනව කියලයි. ඒ පෙරළිය කොතරම් තදින් දැනුණද කියනවනම් මම මගේ ළඟ ඉඳගෙන හිටපු යාළුවට කිවුව ඇත්තටම මට මේ මිනිහ එක්ක නිදාගන්න  ඕනකියල. කළුතර දිස්ත‍්‍රික්කයෙත් රයිගම් කෝරළේ හද්දා පිටිසර ගමක ඉපදුණ කෙල්ලෙක්ට කථිකාචාර්යවරයෙක් එක්ක නිදිවදින්න උපදින ආශාව ගැන හොඳටෝම තේරුම් ගත්ත  යාළුවා ඉන්පස්සෙ කවදාවත් දේශනවල දි මගේ ළඟ ඉඳගන්න ආවෙ නෑ. හොස්ටල් කෙල්ලොනම් කීපදෙනෙක් මා දිහෑ ඇස් කරකවල බැලූව තමයි. ඒත් උන් මල් පාරෙ ගස් අස්සෙ  ඕනතරම් කොල්ලොත් එක්ක ලැගල තියෙන බව දන්න නිසා මට ඒව වැදගත් වූණේ නෑ. අනික ඒ හැමදේම බොහොම පුංචි කාලයකට විතරයි බව මං දැනගෙන හිටියා. ඊළඟ විභාගෙ ඉවර වෙනකොට ඒ හැමදේම අතීතය වෙලා හැමෝගෙම හිතෙන් මැකිල ගිහින් තිබුණා. අනුන්ගෙ  ඕපදුප මිනිස්සුන්ට මතක තියෙන්නෙ බොහොම පුංචි කාලෙකට විතරයි. ඊට පස්සෙ උන්ට උන්ගෙ ප‍්‍රශ්න තියෙනවා.....ඒ දවස්වල සංගමේට බැහැල වැඩ කරපු ශෂිකලා කියනවා නිතරම වගේ.


මං සුරේන්ට පළමුවෙන්ම කථාකළේ කොළඹ - නුවර වායුසමීකරණය කළ බස් රථයකදී. කෑගල්ලෙ හිටපු යාළුවෙක්ගෙ ගෙදර සති අන්තය ගත කරන්න යන්න මං ඒ බස්රථයට නැංගෙ ඒක ඉස්සෙල්ල ම ගලහ හංදියට ආපු එක නිසා. අතේ සල්ලි තිබුණෙ එදා මහපොළ ලැබුණ නිසා.  නැත්නම් ඒ කාලෙ මොන ඒසී බස් ද?.... වාඩිවෙන්න තව තැන් කීපයකම ඉඩතිබුණත් මං වාඩිවුණේ සුරේන් ළඟ. මාව අඳුන්වා දෙන්නත් කළියෙන් සුරේන් මාව අඳුනගත්ත. ගොඩාක් දේවල් කථාකරල අවසානෙදි මං කෑගල්ලෙන් බැස්ස වුණත් හිත සුරේන් එක්ක ම කොළඹ ගිහින් බව දැනගත්තෙ මං යාළුවගෙ ගෙදරටත් ගියාට පස්සෙ. කෙල්ලෙක්ගෙ හිත අන්සතු වුණා ම ඒ දැරිවි කරන්නෙ මොනවද නැත්තෙ මොනවද කියල එයාටම නිච්චියක් නැතුව යනව. මටත් එහෙම වුණා, කරන කියන දේවල් මොනවාද කියන්න මට ම තේරුමක් නැතුව ගියා..... අන්තිමට සුරේන් සර්, සුරේන් වෙලා, සුරේන් සුරේ වෙලා, සුරේ සූ වෙන්න ගතවුණේ වසරකටත් වඩා අඩු කාලයක්.


එදත් අදත් අතර ගෙවී ගිය හැම දවසක් ම සුරේන් වෙනුවෙන් උපන් දවස් කියල හිතෙන තරමටම අපි අතරේ නොබිඳෙන සුළු බැම්මක් වෙලා ආදරේ අලූත් වෙනව. මං ඒ සුරක්‍ෂිත බැම්ම අතරේ හැංගිලා ඔහුට ආදරේ කරනව. වෙලාවකට මං මටමත් බාහිර ලෝකයටත් කියන දෙකටම හැංගෙනව. ඒ තමයි සුරේන්ගෙන් මට ලැබුණ ආදරේ දායාදය.


හුන්නස්ගිරිය කඳුපන්තිය දිහා බලාගෙන පාලූවේ දවස ගෙව ගෙවා හිටපු තානායම්පලකදී හදිස්සියේ ම දවසක සුරේන්ගෙ අනියම් භාර්යාව වුණ දවසේ හඳ පවා අඬල පොළොවට වැටිල තිබුණ. මුළු හුන්නස්ගිරි කඳුපෙළත් ඈත නකල්ස් කඳුවැටියත් ඒ සඳකඳුළෙන් තෙත් වෙලා...ඒත් මොකක්දෝ හේතුවක් නිසා මට ඇඬුණෙ නෑ. මගේ හිත පොඞ්ඩකට හරි ආපස්සට ඇදල ගත්තෙ මලිත්තා විතරයි. මලිත්තා වෙනුවෙන් උපන් කඳුළක් ඒ සොඳුරු තානායමේ නාන බේසමේ හැලූණෙ මටත් නොකියා ම. සුසුමක් සැලූණෙ අවුරුදු දෙකක් ම පේ‍්‍රමය ප‍්‍රකාශ කරමින්  පස්සෙන් ආපු     කටානොහොත් තෙන්නකෝන් මුදියන්සේලාගේ අධීෂ එක්සිත් තෙන්නකෝන් වෙනුවෙන් වෙන්නැති. ඒ සුසුමත් නැවතුණේ සුරේන්ගෙ හිසකෙස් අතර ම නිසා ඒවට ඒ තරම් හයිය හත්තියක් තිබුණේ නෑ. අසරණ වුණා විතරයි.


මොන තරම් ප‍්‍රශ්න ආවත් ඒ හැමදෙයක් ම දිය කරන තරමේ උණුසුම් ආදරයක් ආකර්ශනීය බැල්මක්, ස්පර්ශයක්, දයාවක් සුරේන් ළඟ තියෙන නිසා අනිත් හැමදේම මට දැනුණෙ පාලනය කරන්න පුළුවන් විදියෙ මිනිස් හැසිරීම් ටිකක් කියලයි. පුංචි කාලෙ ඉඳල ම අම්මලාගෙන් දුරස්වෙලා පාසල් නේවාසිකයෙ හැදුණ වැඩුණ මට විශ්වවිද්‍යාල නේවාසිකයට මාරු වෙනකොට වෙනස් වුණේ පාඩම් කරන්න තිබුණ විෂය මාලාව විතරයි.  අම්ම තාත්ත වුණත් මලිත්තට තරම් මට ආදරේ නොකළෙ මට ගෙදරත් බෝඩිමක් වුණ නිසා වෙන්න ඇති. අම්මලාගෙන් හැමදේම ලැබුණ, ඒත් ආදරේ නම් මදි වුණා. කවදා හෝ කොතැනකදී හෝ මට මගේ අම්ම තාත්ත අතහැරුණ. ඒ වෙනුවෙන් අඬන්න වැළපෙන්නත් මට වෙලාවක් නැති තරමට කාර්යබහුල කාලයක් ඒ කාලෙ. උපාධිය, පශ්චාත් උපාධිය, සහකාර කථිකාචාර්ය තනතුර, කථිකාචාර්ය වෙනතුරුම මට පාර කිවුවෙ මගේ ආදරණිය පෙම්වතා. ඒ වෙනකොට මං දැනගෙන හිටිය මං අහඹුවකින් වගේ ආදරේ කරන්න පටන් අරගෙන තියෙන්නෙ මට වඩා වසර හත අටක් බාල දියණියකුත් ඉන්න තාත්තෙකුට කියල. මට මුණගැහෙනකොටත්  සුරේන් දික්කසාද නොවුණත්, උසාවි නියෝගයකින් නීතියෙන් වෙන්වෙලා ජීවත් වුණ නිසා මං ඒ කූඩුවට ගල් ගහපු කෙනා නම් නෙවෙයි.  ඉඳහිට දවසක ගෙදර යනකොට මං එනතුරු දෑස රිදෙනකල් පාර බලා ඉන්න මලිත්තා ගැන මිසක් මට වෙන කිසිම දුකක් තිබුණෙ නෑ. කාලයත් එක්ක අම්මල මනමාලයො හොයන එක නැවැත්තුව. මලිත්තා ලොකු මිනිහෙක් වෙලා  කොළඹ විශ්ව විද්‍යාලෙට ඇතුළත් වුණා.


මලිත්තා..... මලිත්තා.... මලිත්තා....


මල්ලීට අසාධ්‍යයි. වහාම ගෙදර එන්නතාත්තාගේ අත්අකුරු මගේ මේසේ උඩට ආවේ ටෙලිග‍්‍රෑම් එකකින්. ඒ දුර ඇමතුමක්වත් නොදෙන තරමට තාත්තලාට මාව පිළිකුල් වෙලා තිබුණ නිසා. මං එනතුරු අන්තිමටත් මගේ සහෝදරයා ජීවිතේ හැරනොයා හිටිය. මගේ පුංචි මලිත්තාගේ දෑසේ ඉතිරිව තිබූ කඳුළු උල්පතේ අවසාන කඳුළු බින්ඳුව ගලලා ඉවර වුණේ මගේ අත් දෙක අතරෙදියි. ඒ කඳුළ නිසා උපන් කැළැල් තවමත් මගේ අත් වල තැවරිලා තියෙන බව මගේ දෑත් දකින දකින වාරයක් පාසා මට දැනෙනවා. මං අසිහියෙන් වගේ වෙලාවකට මලිත්තගේ ඇස්වලින් වැටිච්චි කඳුළුවල ලකුණක්වත් තියෙද කියල බලනව මගේ බාහුවල ඉතිරිවෙලා. චරිතවත් ජීවිතය, සදාචාරය, සංස්කෘතිය හැඳිවතටත් වඩා වැදගත් දෙයක් කරගත් මලිත්තාට අක්කාගේ අසම්මත ජීවිතය වේදනාවක් වුණා. ඒ වේදනාව උග‍්‍ර වන්නේ කිසිවෙකුගේ ප‍්‍රශ්න කිරීමකට ගොදුරක් වූ විටක බවත් මම දැනගෙන හිටියා.


එක් හැඳෑවක මත්පැනින් මත් වෙලා ඇවිත් සුරේන්ගෙ කමිස කොලරයෙන් අල්ලාගෙන කෑගැසූ හැටි. ඒ වුණත් අන්තිමට ඌම අඬලා පිටවෙලා ගිය හැටි. අම්මගෙයි තාත්තගෙයි ගින්දර නිවන්න උඹ මුළු ජීවිත කාලෙ ම ඇඬුවත් බැරිවෙයි අක්කෙකියලා මගේ පපුවට මහ විශාල ඊයම් බරුවක් අතඇරලා ගියපු මලිත්තා. මතක් වෙන මතක් වෙන වාරයක් පාසා ඇස් තෙමෙන නිසා ඒ කඳුළු සුරේන්ගෙන් හංගගන්න මට කවදාවත් බැරි වුණා. මලිත්තගෙ මරණය වෙලා දැන් තුන් මසකටත් වඩා වැඩියෙන් කාලය ගෙවිල. ඒ වුණත් ඒ ඇස් තිබුණෙ මගෙ පපුව යට. ඒකයි මේ කඳුළු. මම නෙවෙයි අඬන්නෙ මලිත්තාගේ ඒ ඇස් දෙක. බෙල්ල වැල දා ගන්නව වගේ දරුණු තීරණයකට නොගිහින්, නිදිපෙති බිව්වෙ නින්දෙදි ම මැරෙන්න හිතාගෙන වෙන්නැති. ඒ තරමට ම ඒ හිත ලාමකයි. මගේ දෑත් මත ම අවසන් සුසුම හෙළද්දීත් ඒ ඇස් මං දිහාවට ම තියාගෙන හිටියෙ මොනවාදෝ කියන්නට වගේ. අසරණයා. ඌ මගේ මලිත්තා...


සුරේන් කෑම බන්දේසි ටික පිළිවෙලට මේසෙට තියල මාව උරහිසින් අල්ලල පුටුවකින් ඉන්ඳුවෙ මගේ කම්මුලක චුම්බන සටහනකුත් තියන ගමන්මයි. ඉන් පස්සෙ පුංචි කොළ කෑල්ලකුත් තිවුව මගේ ඉස්සරහින්.


                
             තාරුකා දෑස
                අඬනවා නේද?....
                නොකියාම සිතේ සිරකොට තබාගත්
                පාළුව.....කඳුළ.... බෙදාගමු....
                මටත් පුළුවනි නුඹ එක්ක
                අඬන්නට....වැළපෙන්නට.....
                එපා තනියම අඬන්නට....
               

අළුත් වුණ කඳුළක් අතරින් මට හිතුණ උත්තරයක් ලියන්න....


                ඒ කඳුළ මගෙ ම පමණයි....
                එපා ඔය හැටි ආදරෙන්
                ඒ කඳුළ ඉල්ලන්ට.....
                නොදී ඉන්නට හිතට සවිය නැතිවේවි එතකොට....


සුරේන් ඒ දිහාව බලා ඉඳලා කෑම කන්න පටන් ගත්තා. සිරිල් එලවළු සුප් එකක් හදල. ඒ උණුසුම් සුප් පානයෙන් ආයෙමත් හිතත් උණුසුම් වුණා. සතියක විප‍්‍රයෝගය හිත ඔද්දල් කරනව ඊළඟ සිකුරාදා හවසට සම්ප‍්‍රයෝගය සිදුවන නිසා ඒ සිතම සුඛ විහරණයන්ගෙන් පරිපූර්ණ වෙනව.

නුරාධා......

චිමිණි ලාම්පු එළියෙ මලානික ආලෝකය මැදින් සුරේන්ගෙ හඬ මට ඇහුණෙ සැහෙන්න ඈතකින්. ඒ එයා මට මතක ඇති කාලෙකින් නුරාධා කියල කථා කරල නැති නිසා. එක්කො රාධා වුණ, එක්කො නුරා වුණ, මාව එක සැරේටම නුරාධා වුණේ කොහොමද කියල මට හිතාගන්න බැරි වුණා. ඒ මොනවා වුණත් තව ටිකකින් එළඹෙන කථාව බොහොම බරපතල බව මම දැනගත්ත.

     දුව මට ලියුමක් එවල.....

    පිළිතුර නිහැඬියාවක්.

    ඒක චෝදනා පත‍්‍රයක්, අපි දෙන්නට ම....

     චෝදනාවක්? අපි දෙන්නට ම......ඇයි ඔයා හැමතිස්සෙ ම කියන්නෙ, ඔයාගෙ දුවවත් වයිෆ්වත් අපේ         සම්බන්‍ධකමට කිසිම බලපෑමක් නෑ කියල... මගේ හඬ මඳක් උස් ස්වරයකට ගියා මාත් නොදැන ම.

   එයා බලපෑමක් වුණේ නෑ....ඒත් ඒ මගේ දරුවනෙ,... එයාගෙ හිත රිදිල... ඉතිං එයා මට ලියුමක් එවල.

    මොකක්... මං ඔයාට කවදාවත් ඩිවෝස් වෙන්න කියල බලපෑමක් කළා ද? දරුවට සලකන්න එපා කිව්ව ද? මේ තරමට ම කැපවීමක් කරලත් ඇයි ඔයා මට මේව කියන්නනෙ?

    මේ ලියුමෙ බලපෑම තියෙන්නනෙ මට නෙවෙයි නුරා, ඔයාටයි !

   මට තේරෙන්නෙ නෑ ඔයා මොකක්ද කියන්නෙ කියල?

   මට තේරෙන්නෙත් නෑ ඔයාට මේක පැහැදිලි කරන්නෙ කොහොමද කියල. සමහරවිට මේ අපි දෙන්න එකට ඉන්න අන්තිම සතිය වේවි...

      මොනවා?....මොනවද ඔයා මේ කියවන්නෙ. කියන්න ඔයාට මොනවද  ඕන, මං යන්නද? ආයෙමත් ඔයාට පවුලක්  ඕන වෙලා ද? අවුරුදු දහයක් තිස්සෙ මගේ ජිවිතේ වටිනම කාලෙ මං ගෙවුවෙ ඔයා එක්ක. මං දරුවෙක් ගැනවත් හීනයක් දැකල නැති, ඒකටවත් කිසි පිනක් නැති නිකම්ම නිකන් ගෑනියෙක් විතරයි දැන්. මගේ හීන ඔක්කොම ඔයාගෙ ඇඳේදි ම දැකල හිත ඇතුළෙම දියවෙලා ගිහින්.  ඔයාව විතරයි මට  ඕන වුණේ. ඒ බව දැන දැනත් ඇයි මේ විදියට මාව රිද්දන්නෙ... ඔයා වෙනුවෙන් මමත් මගේ පවුල නැති කර ගත්ත. මගේ යාළුවො පවා මාව අතෑරිය කියල ඔයා දන්නවනෙ. ඩිවොස් වෙලා මාව බැඳගන්න කියල මං කවදාවත් ඔයාට බල කලාද? මට ඔයා වෙනුවෙන් තව කරන්න දෙයක් නැති තරමයි.

       හැම කැපකිරිමක් ම කළේ ඔයා විතරක් නෙවෙයි රාධා. මටත් ඔයා නැතුව ජීවිතයක් නෑ.

       සුරේ... දැන් මට කිසි දෙයක් නැහැ. මගේ අම්ම තාත්ත, මගේ පණ වගේ හිටපු මල්ලි. කිසි කෙනෙක් නෑ. මං ලෝකෙ තනි වෙලා. අපි කොයිතරම් ප‍්‍රශ්නවලට මූණ දුන්න ද, කොයිතරම් අමාරු කාලයක් ද පහුකලේ. දැන් ඒ හැමදේම සාමාන්‍ය වුණාට පස්සෙ මොනවද ඔයා මේ කියවන්නෙ? ඔයාට මාව  ඕන වුණ කිසිම වෙලාවක මං ඔයාව දාල ගිහින් තියෙනව ද?

      සුරේන්ගේ මුහුණේ ඇත්තේ අතිශය දුෂ්කර කාරණාවකදී පැන නගින ආකාරයේ සංකීර්ණ ස්වරූපයකි.

     එහෙම දෙයක් නෙවෙයි රාධා, ඔයා දැන් නිදා ගන්න. වෙහෙස වෙලානෙ ඉන්නෙ. අපි හෙට හැමදෙයක් ම  කථා කරමු.

එවැනි පිළිතුරකින් නිහඬ වන්නට තරම් සරල ගැහැණියක් මා තුළ නැත.

       ඇයි හෙට?..... කියන්න මට දුව මොනවද ලියල තියෙන්නෙ?

       මල්ලිගෙ මරණෙට ඔයා කෙලින්ම වග කියන්න  ඕන කියල. විනාඩි ගණනාවක නිහැඬියාවකට පස්සෙ ඔහුගෙන් ලැබුණ පිළිතුර.

       මොනවා...

     ඒ අකුණු සර මගේ හිතටයි. මගේ ප‍්‍රාණය ම සියතින් සිඳ සිරකර ගන්නේ ඇයි... මලිත්තා මගේ පණ නේද? කාගෙවත් කතන්දර මා විශ්වාස කළ යුත්තේ ඇයි? කවුරු නැතත් මලිත්තා මාව තේරුම් ගත්තා.

එයාගෙ මනෝ විකාරනෙ සුරේ. අනික දුව මගේ මලිත්තව අඳුනන්නෙවත් නැතිව කිසි පදනමක් නැතිව කියන කථාවක්නෙ ඔයා මේ ලොකු කරගෙන තියෙන්නෙ. නිකං මගේ හිතත් රිද්දුවා.

      ඒ දෙන්න කැම්පස් එකේදි අඳුනනවලූ.

     මොනවා...දුව කොළඹ කැම්පස් ද?

      හ්ම්......

      ඇයි මට නොකීවෙ.

      වැදගත් නැති නිසා. අනික ඔයා මගෙන් ඒක අහලත් නෑනෙ කවදාවත්.

      ඉතිං කැම්පස් එකේ උන් කියන්නෙ මං නිසා මලිත්ත නැති වුණා කියලලූ ද? ඒත් මල්ලි මට ලියල තිබුණෙ ප‍්‍රථම පේ‍්‍රමයේ පළමු ගාස්තුව වෙනුවෙන් ජීවිතය හැර යනව කියලනෙ. මං නිසා, මගේ සම්බන්‍ධකමක් නිසා, මැරෙන්න තරං ඌ මෝඩ නැහැ සුරා....


      හරි හරි දැන් මේසෙ අස්කරල නිදා ගමු. මට නිදිමතයි.


   සුරේන්ගේ විධානයට ඉහළින් මට වචනයකවත් අයිතියක් නැත. මම කුස්සියට ගියෙමි. සිරිල්ගේ දෑස ම`ග නොහැර ම කෑම බඳුන් අස්පස් කළෙමි. මැඩම් යන්න. මම මේව කරගන්නංකියා සිරිල් කීව ද මට වුවමනා වූයේ සුරේන් අසලින් මඳකට දුරස් වීමට ය. එහෙත් සිරිල්ගේ දෑසින් මලිත්තා දකින විට මට සුරේන්ගෙන් විමසිමට අපමණ කාරණා ඇත. කාලාන්තරයක් පුරා උගත් දෑ ද, ළමයින්ට උගැන්වීමෙන් ලබන ප‍්‍රීතිය ද, මා ගෙවන ජීවිතය ද  මහා බොරුවකි. මගේ හිත හදන්නට වදනක් පවසන්නට හෝ කිසිවෙක් අසල නොවීම පිළිබඳව මා පසුතැවීමෙන්ම ඉදිරි කාලය ගෙවී යනු ඇතැයි සිතෙයි. දරුවකු අහිමි පාළුව, නෑදෑයෙක් අහිමි පාළුව, නීත්‍යානුකූල ස්වාමි පුරුෂයෙකු අහිමි පාළුව, මියෙනතාක් මා පෙළනු ඇත. ළදැරියකව හෝ සුහුඹුල් තරුණියකව සිටියදී හෝ හදවතේ නොතිබුණ දරුණු පාළුවක් තාරුණ්‍යයේ අවසාන කාලයේදී කාන්තාවකට අත්විඳීමට සිදුවන බව දැන් මම දනිමි. ඒ දුක පීඩාව හිතේ බරගතිය මට දැනෙන්ට පටන් ගත්තේ විශ්ව විද්‍යාලෙ අවසන් වසරෙ අවසන් විභාගයට පසුව දිනක හැම යාළුවෙක්ම තම තමන්ගෙ ගෙවල්වලට යද්දී මං සුරේන් එක්ක ආපු වෙලාවෙ. තව දුරටත් මා හැර දමා යාමෙන් පලක් නොවන බව දැනගත්ත පාළුව මාත් එක්ක ම ඉන්නෙ මට තනි රකින්න වගේ. මොන දේ කළත් සුරේන්ටවත් පුරවාලිය නොහැකි අඩුපාඩුව එයයි.


            නිදන කාරමයට එන විට සුරේන් සුවසේ නිදි. මුදුන් වන සඳ යාන්තමින් අවුත් දුහුල් ජනෙල් තිර රෙදි මත රටා අඳියි. චිමිණි ලාම්පුවේ දැල්ල මරණාසන්න වී ඇත. රමණ සිතිවිලි සිත්තම් කළ කැන්වසය දිය පහරකින් හේදී ගොස් ඇත. ඒ නිසාමදෝ සිරුර තුළ ඇති කෙඩෙත්තුව ද අපමණය. මම කොට්ටයට රහස් කියමින් නිදාගත්තෙමි. ඒ රහස් සුරේන්ට ඇසෙතැයි බියෙන් අනෙක් ඇලයට හැරුණෙමි.

       දුරකථනයේ නින්නාදය අතොරක් නැතිව. රාත‍්‍රියේ සඳ එළිය සිඹ සිඹ සැනසූ ජනෙල් තිර රෙදි උදැසන ළහිරු කිරණේ චුම්බන වර්ෂාවන්ට ගොදුරු වී ඇත. සුරේන් සයනයේ නොවූ හෙයින් මට ම නැගිට ගොස් දුරකථනයට පිළිතුරු බඳින්නට සිදුවිය.


        හෙලෝ.......... මම දුරකථන ඇමතුම සම්බන්‍ධ කළෙමි.


      නුරා මම එළියට ආව  - ඔයා උදේ කෑම තනියම ගන්න. මම එන්න පරක්කු වේවි. කොහේ හරි යනවනම් මට කෝල් කරල කියන්න.


        ඔයා කොහෙද ගියේ? ඇයි මට නොකියාම ගියේ?.....මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ - මගෙන් පැනල යන්න තරම්. කවදාවත් නැතුව මට නොකියම ආවෙ ඇයි? මම ඒ සියල්ලම ඇසුවේ එකම හුස්මකිනි.

         රාධා... මම කියන දේ අහල ඒ ගැන කලබල නොවී සැහැල්ලූවෙන් හිතන්න. ඔයා කිවුව වගේ අපි කොයි තරම් ප‍්‍රශ්නවලට මුහුණ දුන්නද? ඒත් අපි හොඳින් ඉන්නවනෙ. මේ කාරණාව හොඳින් තේරුම් ගන්න. සමහරවිට ඔයා මං එනතුරු ඉඳීවි. එහෙම උනොත් මට ඔයා එක්ක මේ ගැන කථා කරන්න පුළුවනි.

          ඉතිං කියන්නකො දැන් මොකද වෙලා තියෙන්නෙ කියල. මාව බය කරන්නෙ නැතුව.

            මේසෙ උඩ දුව මට එවපු ලියුම ඇති.  මලිත් මගේ දුව එක්ක පේ‍්‍රම සම්බන්‍ධයක් ඇති කරගන්න උත්සාහ කරල තියෙනව. ඒත් මල්ලි දැනගෙන ඉඳලත් නෑ ඒ මගේ දුව කියල. ඒ වගේම මගේ දුවත් දැනගෙන ඉඳලත් නෑ මුලින් ඒ ඔයාගෙ මල්ලි කියල. අක්ක ලෙක්චරර් කෙනෙක් කියල මලිත් කිවුවම දුව විස්තර හොයල බලද්දී තමයි ඔයාගෙයි මලිත්ගෙයි සම්බෙන්‍ධ දැනගෙන තියෙන්නෙ. ඔයාට තේරුම් ගන්න පුළුවනිද ඒක දැනගත්තම ඒ දෙන්නගෙ මානසිකත්‍වය මොන වගේ වෙන්න ඇතිද කියල. දවසක් මගේ දෝණිගෙන් මලිත් මොනවහරි අහද්දී කෙල්ල අතින් වැරදි විදියට ඒ කොල්ලට අපහාස වෙන විධියට කතා කියවිලා තියෙනව. අක්කගෙ චරිතෙ ඔහොම නම් මල්ලි මොන වගේ ඇතිද කියලත් එදා ඒකිට කියවුණා ලූ.මේ දේවල් යාළුවො ඉස්සරහ අහද්දී මලිත් සෑහෙන්න අපහසුවට පත්වෙන්න ඇති. මගේ දුව ගොඩාක් මානසිකව වැටිල ඉන්නෙ. මලිත් මේ කරගත්ත දේට. මැරෙණ්න කලින් මලිත් මගෙ දුට යවපු ලියුමත් එතනම ඇති.


       සුරේන් තව මොන මොනවාද කියනා හඬ මහා ඈතක දෝනාවක් තුළ සිට නගන හඬක් සේ මට ඇසිණි. රිසීවරය බිම නොවැටී බේරුණේ යාන්තමිනි. මම ඒ ලිපි අතරින් මලිත්තා සුරේන්ගේ දියණියට යැවූ ලිපිය පමණක් කියෙව්වෙමි.




හිතවත් චාන්ගා...


දැන් ඉතින් ඔබ හිමි කර ගැනීම සිහිනයක් වුවද, මගේ හද තුළ ඔබට හැර වෙන කිසිවෙකුට ඉඩක් නැතියැයි මම හඟිමි. මගේ සොහොයුරිය ගැන හදිසියේම හාරා අවුස්සමින් අසන්නේ කවර කාරණයක් නිසාදැයි නොදත්තෙමි. එය දැනගත් විට මගේ හදවත දැවෙනා චිතකයක් බවට පත් විය. ඔබටත් ඔබේ මවටත් මගේ සොහොයුරියගෙන් අසාධාරණයක් සිදුව ඇතැයි මම දනිමි. එහෙත් එය නිවරද කරනා මගක් මම නොදන්නෙමි.

ඇය නිසා මට උදාවූ අභාග්‍යසම්පන්න යුගය නිමවී ඇතැයි සිතුවද මියෙනා තුරාම ඒ නින්දාව මා සමග පවතිනු ඇත. මේ ලැජ්ජාව තවදුරටත් විඳිය නොහැක. මගේ සොහොයුරියගෙන් ඔබේ පවුලට සිදුවූ අසාධාරණයට හිලව් කිරීමට මට ඇත්තේ මගේ ජීවිතය පමණි.  ඇය ඔබේ පියාට පෙම්කරන්නේ සැබෑවට ම ය.  මමද ඔබට සැබැවින්ම පෙම් කළෙමි.  මා තීරණයක් ගත යුතු බව මට දැනුනේ, සරදමට මෙන් අපේ ගමේ මිනිසුන් ඇය සම්බන්‍ධව විමසද්දී වුවද, එයට සුදුසම අවස්ථාව පැමිණියේ මේ මොහොතේදීය.

මා මේ ගත් තීරණයට හේතුව කිසිසේතම මගේ සොයුරියගේ හෝ ඔබ හෝ නොවේ. මට මේ ගැටළුවට මුහුණ දිය හැකි ආකාරයයි. මා ලෝකය දකින ආකාරයයි. කවුරුන් කෙසේ කීවත් මට මීට වඩා ධෛර්ය සම්පන්න සිතක් මට නැත. ඉඳින් මට තෝරාගැනීමට වඩාත් පහසු මාර්ගය මෙයයි. මම පරාද වුණෙමි.

ඔබට පුළුවන්ද මගේ සොයුරියට සමාව දෙන්න ?

මලිත්







මලිත්තා..... මලිත්තා.... මලිත්තා....



            දිනවීමේ සිහිනම පමණක් දුටුව ද මම නුඹ පරාද කරවීමි. ලෝකය ඉදිරියේත්, ආදරය ඉදිරියේත්. මියගිය දා කනත්තේ තනිකර දමා පැමිණි මලිත්තාගේ  ඕජස් ගලනා සිරුර නැවත ගෙනවිත් මම මගේ උරහිස මත හිඳුවාගත්තා වැනි හැඟුමකින් මම රෝගී වුණෙමි. ඉතින් තවදුරටත් දෙපයින් සිටගත නොහැකි තරම් මලිත්තා මට බර වැඩි වු හෙයින් ඇඳ මත්තෙහිම ඇදහැළුණෙමි.


කළ යුත්තේ කුමක්ද? මම නොදන්නෙමි.


යා යුත්තේ හෝ නොයා යුත්තේ කොහිද? මම නොදන්නෙමි.


මලිත්තා..... මලිත්තා.... මලිත්තා....